ශ්‍රී ලංකා මුහුදු සීමාව ආසන්නයේ නැංගුරම්ලා තිබී, පසුව ආරක්ෂිතව කොළඹ වරායට රැගෙන ආ ඉරානයේ ‘IRIS Bushehr’ නෞකාව සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය තොරතුරු ප්‍රචාරය වෙමින් පවතින බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පවසයි.
යම් නාලිකාවක නිවේදකයෙකු සිය සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේ මෙම නෞකාවේ ‘ළමුන් 300ක්’ පමණ සිටින බවට මුලින් සටහනක් පළ කර තිබූ බවත්, පසුව එම සටහනෙන් ‘ළමුන්’ යන වචනය ඉවත් කර ඇති බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. වඩාත් බැරෑරුම් තත්ත්වය වන්නේ, නිසි සොයා බැලීමකින් තොරව මෙම අසත්‍ය තොරතුරු පදනම් කරගනිමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු පවා සභාවාරය අතරතුර අදහස් දැක්වීම බව ඔහු අවධාරණය කළේය.
සත්‍ය තොරතුරු සමාජයට ඉදිරිපත් කිරීම වෙනුවට, ඇතැම් පිරිස් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන සාවද්‍ය කරුණු පදනම් කරගනිමින් පාර්ලිමේන්තුව වැනි වගකිවයුතු ආයතන තුළ ප්‍රකාශ නිකුත් කිරීම පිළිබඳව අමාත්‍යවරයා සිය දැඩි විවේචනය එල්ල කළේය. මෙවැනි විකෘති කළ තොරතුරු සමාජගත කිරීම හරහා රට තුළ අනවශ්‍ය කලබලකාරී ස්වභාවයක් ඇති කිරීමට පිරිසක් උත්සාහ දරන බවට ද ඔහු චෝදනා කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා කියා සිටියේ,
” මෙයාලා කරුණු හොයාගන්නේ ෆේස්බුක් එකෙන් මිසක් පොඩ්ඩක්වත් හරියට හොයලා බලලා නෙවෙයි.මොකද මම දැක්කා ඔය ළමයි 300ක් ඉන්න කතාවක් කියනවා අර නයි නාලිකාවේ නිවේදක මහත්තයෙක් දාලා තියෙනවා. හැබැයි ඊට සුලු වෙලාවකට පස්සේ මම දැක්කා ඒකේ ළමයි කෑල්ල හලලා 300 විතරක් තියලා තිබ්බා. ඒක නිසා අදාළ මන්ත්‍රීවරයා දැකලා තියෙන්නේ අර කලින් දාපු එක විතරයි.
ඔබලා දේශපාලනය කරන්න. බලයට එන්න. හැබැයි ඇත්ත කියලා එන්න. ප්‍රතිපත්තියක් ඇතුව එන්න.ක්‍රමයක් ඇතුව එන්න. නමුත් ඔවුන් බලාපොරොත්තු වෙන්නේ රට ගිනි අරගෙන හෝ අපිට බලය ලැබෙනවා නම් කමක් නැත…”
