Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

මුදල් ඉපැයීමට ආයුර්වේදය විකුණන ආයතන ගැන වෛද්‍ය සභාව අවදියෙන්

9 months ago

විවිධ පුද්ගලයින් සහ සංවිධාන විසින් ‘ආයුර්වේද වෛද්‍ය සභාව’ යන නාමය අවභාවිත කරමින් පවත්වාගෙන යනු ලබන ව්‍යාජ ආයතන සහ කූඨ ව්‍යාපාර පිළිබඳව තොරතුරු අනාවරණය වී ඇති බව ආයුර්වේද වෛද්‍ය සභාව නිවේදනය කරයි.

ආයුර්වේද වෛද්‍ය සභාව පෙන්වා දෙන්නේ ආයුර්වේද හෝ දේශීය වෛද්‍යවරුන් ලෙස සුදුසුකම් සපුරා නොමැති පුද්ගලයන් ලියාපදිංචි කිරීම, විවිධ දැනුවත් කිරීමේ වැඩසටහන් සහ සායන පැවැත්වීම මෙන්ම අධ්‍යාපන ආයතන පවත්වාගෙන යාම හරහා මෙම කූඨ ලෙස මුදල් ඉපැයීමේ ජාවාරම සිදුවන බවයි.

ආයුර්වේද, සිද්ධ, යුනානි සහ දේශීය චිකිත්සා වෛද්‍යකර්මයේ නියැලීම සඳහා වෛද්‍යවරුන්ට නෛතික බලය පිරිනමනු ලබන ශ්‍රී ලංකාවේ එකම නීත්‍යානුකූල ආයතනය ආයුර්වේද වෛද්‍ය සභාව පමණක් බව එම ආයතනය අවධාරණය කරයි. යම් රෝගියෙකු ප්‍රතිකාර සඳහා යොමු වීමේදී අදාළ වෛද්‍යවරයා නිත්‍යානුකූලව ලියාපදිංචි වී ඇත්දැයි යන්න සනාථ කර ගැනීමට අවශ්‍ය නම් ආයුර්වේද වෛද්‍ය සභාව හරහා එය සිදු කළ හැකිය.

ව්‍යාජ ලෙස පෙනී සිටින මෙවැනි ආයතන, සංවිධාන හෝ පුද්ගලයින් සම්බන්ධයෙන් 2023 අංක 19 දරන ආයුර්වේද (සංශෝධන) පනතින් සංශෝධිත 1961 අංක 31 දරන ආයුර්වේද පනත ප්‍රකාරව දැඩි නීතිමය පියවර ගන්නා බව එම සභාව සඳහන් කරයි.

එබැවින්, ආයුර්වේද හෝ පාරම්පරික වෛද්‍යවරුන් ලෙස පෙනී සිටිමින් ප්‍රතිකාර කරනු ලබන සැක කටයුතු පුද්ගලයින් පිළිබඳව තොරතුරු ඇත්නම් වහාම ඒ පිළිබඳව තමන්ව දැනුවත් කරන ලෙස ආයුර්වේද වෛද්‍ය සභාව මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

මේ පිළිබඳ වැඩිදුර විස්තර සඳහා 0112 844 9666 යන දුරකථන අංකය ඇමතීමෙන් තොරතුරු ලබා ගත හැකිය.