Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ගෙවී ගිය පැය 24 තුළ දිවයිනේ ප්‍රදේශ රැසක මාරක රිය අනතුරු

9 months ago

ඊයේ (07) දිනය තුළ දිවයිනේ විවිධ ප්‍රදේශවල සිදු වූ මාරක රිය අනතුරු හතරකින් පුද්ගලයන් සිව්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිස් මූලස්ථානය නිවේදනය කරයි. වත්තල, එගොඩඋයන, පුලියන්කුලම සහ නවගමුව යන පොලිස් වසම්වලින් මෙම අනතුරු වාර්තා වී ඇති අතර, මියගිය පිරිස අතර යතුරුපැදිකරුවන් සහ පදිකයන් ද සිටින බව පොලිසිය පවසයි.

වත්තල, කුඩගහපිටිය හන්දිය අසලදී යතුරුපැදියක පසුපසින් පැමිණි මික්සර් රථයක් ගැටීමෙන් සිදු වූ අනතුරකින් 44 හැවිරිදි රාගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකු මියගොස් ඇත. ඔහු රාගම රෝහලට ඇතුළත් කරන විටත් මියගොස් සිටි බව වාර්තා වේ.

මේ අතර එගොඩඋයන, පානදුර – මොරටුව නව මාර්ගයේදී පදිකයෙකු යතුරුපැදියක ගැටීමෙන් සිදු වූ අනතුරකින් 50 හැවිරිදි කොරළවැල්ල පදිංචිකරුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

පුලියන්කුලම – වව්නියාව මාර්ගයේ රාමණූර් ප්‍රදේශයේදී පාපැදියක යතුරුපැදියක් ගැටීමෙන් තවත් මාරක අනතුරක් සිදුව ඇත. මෙහිදී යතුරුපැදියේ පසුපැදිකරු මාර්ගයෙන් ඉවතට විසිවී බරපතල තුවාල ලබා ඇති අතර, පුලියන්කුලම රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත්තේ 59 හැවිරිදි කටුපොත පදිංචිකරුවෙකි.

මීට අමතරව නවගමුව, රණාල ප්‍රදේශයේදී කොළඹ දෙසට ධාවනය වූ බස් රථයක ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි යතුරුපැදියක් මුහුණට මුහුණ ගැටීමෙන් 34 හැවිරිදි කෑගල්ල පදිංචි යතුරුපැදිකරුවෙකු මියගොස් තිබේ. මෙම අනතුරට සම්බන්ධ බස් රථ රියැදුරු මේ වන විට පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර, සිදුවූ සියලු අනතුරු සම්බන්ධයෙන් අදාළ පොලිස් ස්ථාන මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කර ඇත.