දූෂණ චෝදනාවලට වරදකරුවන් කරමින් කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය විසින් පැනවූ සිරදඬුවම්වලට එරෙහිව හිටපු අමාත්‍යවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ සහ නලින් ප්‍රනාන්දු ඉදිරිපත් කළ අභියාචනා පෙත්සම් විභාග කිරීම අද (09) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ආරම්භ විය.
අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතාගේ සභාපතිත්වයෙන් යුත් පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ මෙම විභාගය පැවැත්වේ.
මෙම විනිසුරු මඩුල්ලේ සෙසු සාමාජිකයින් ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන ශිරාන් ගුණරත්න, අර්ජුන ඔබේසේකර, අචල වෙංගප්පුලි සහ සම්පත් අබේකෝන් යන මහත්වරු කටයුතු කරති. තමන්ට පනවා ඇති දඬුවම්වලින් නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලමින් හිටපු අමාත්‍යවරුන් දෙදෙනා විසින් මෙම අභියාචනා ඉදිරිපත් කර තිබුණි.
2015 ජනාධිපතිවරණ සමයේ එවක ජනාධිපති අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතාගේ දේශපාලන ප්‍රචාරණ කටයුතු සඳහා සතොස ආයතනය හරහා කැරම් බෝඩ් 14,000 ක් සහ දාම් ලෑලි 11,000 ක් ආනයනය කර බෙදාහැරීම තුළින් රජයට රුපියල් කෝටි හයකට ආසන්න පාඩුවක් සිදුකළ බවට මොවුන්ට චෝදනා එල්ල වී තිබුණි. ත්‍රිපුද්ගල මහාධිකරණයේදී මෙම චෝදනාවලට වරදකරුවන් වූ මහින්දානන්ද අලුත්ගමගේ මහතාට වසර 20ක ද, නලින් ප්‍රනාන්දු මහතාට වසර 25ක ද බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියම විය.
