දශක එකහමාරකට අධික කාලයක් උතුම් දළදා වහන්සේ වැඩම කරවූ නැඳුන්ගමුවේ රාජා හස්තියාගේ ප්‍රතිනිර්මාණය එළැඹෙන මාර්තු 11 වැනිදා සිට මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත කරන බව ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව පවසයි. කොළඹ කෞතුකාගාර පරිශ්‍රයේ පිහිටි ස්වභාවික විද්‍යා කෞතුකාගාරයේදී ජනතාවට මෙම හස්තියාගේ ප්රතිරුව දැකබලා ගත හැකිය.
අද (09) පැවැති මාධ්‍ය හමුවකදී ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් සනුජා කස්තුරිආරච්චි මහත්මිය සඳහන් කළේ, 2022 වසරේ මියගිය මෙම හස්තියා ජාතික වස්තුවක් ලෙස සලකා මතු පරපුර වෙනුවෙන් සංරක්ෂණය කිරීම තම දෙපාර්තමේන්තුවේ වගකීමක් වූ බවයි. දියවඩන නිලමේතුමාගේ සහ හස්තියාගේ භාරකරු වූ හර්ෂ ධර්මවිජය මහතාගේ එකඟතාවය මත සංරක්ෂණ කටයුතු ආරම්භ කෙරුණු බව ඇය පැවසුවාය.
චර්ම ශිල්පී ක්‍රමවේදය (Taxidermy) අනුව සංරක්ෂණය කළ මෙම හස්තියාගේ ප්රතිරුව වසර 500ක් දක්වා කාලයක් සුරක්ෂිතව තබා ගත හැකි බව ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ මනෝරි ගුණතිලක මහත්මිය මෙහිදී පැහැදිලි කළාය.
මෙම දැවැන්ත ව්‍යාපෘතිය සඳහා වූ වියදම් පිළිබඳව අදහස් දක්වමින් සත්ත්ව විද්‍යා අංශයේ නියෝජ්‍ය අධ්යක්ෂ ලංකානි සෝමරත්න මහත්මිය පවසා සිටියේ:
හස්තියාගේ ප්රතිනිර්මාණ කටයුතු සඳහා රුපියල් ලක්ෂ 70කට ආසන්න මුදලක් වැය වූ බවයි.හස්තියා තැන්පත් කර ඇති විශේෂිත වීදුරු කුටීරය සඳහා පමණක් රුපියල් මිලියන 16කට ආසන්න මුදලක් වැය වී ඇත.
69 වසරක් ආයු වළඳා 2022 වසරේ මාර්තු මස 07 වැනි දින මියගිය නැඳුන්ගමුවේ රාජා, ජීවත්ව සිටියදීම ජාතික උරුමයක් ලෙස නම් කර තිබුණි. හස්තියාගේ සැබෑ ස්වරූපය නොකෙලෙසෙන අයුරින් ප්‍රතිනිර්මාණය කිරීම විශාල අභියෝගයක් වූ බවත්, දෙපාර්තමේන්තුවේ චර්ම ශිල්පී ඒකකයේ සහ ප්‍රදර්ශන සැලසුම් අංශයේ කැපවීම මත එය සාර්ථක වූ බවත් අධ්යක්ෂ ජනරාල්වරිය වැඩිදුරටත් කියා සිටියාය
