Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

නඩු වැඩිකර ගන්න තරුණයින් අල්ලා නඩුවලට පටලවන පොලිස් රාලහාමි

8 months ago

ගල්කිස්ස කොට්ඨාසයේ පොලිසියක උප පොලිස් පරීක්ෂකවරයෙකු වැඩි නඩු ගණනක් පෙන්වීම සඳහා තරුණයන් අනීතිකව පොලිස් භාරයට ගෙන මත්ද්‍රව්‍ය නඩු පවරන බවට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත පැමිණිලි රැසක් ලැබී ඇත.

මෙලෙස චෝදනා එල්ල වී ඇත්තේ ප්‍රසන්න නමැති උප පොලිස් පරීක්ෂකවරයෙකුට එරෙහිවය. ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විමර්ශනයක් ද ආරම්භ කර ඇත.

ගල්කිස්ස කොට්ඨාසයේ උසස් පොලිස් නිලධාරියෙකුගේ ද උපදෙස් මත මෙම නිලධාරියා අනීතික ක්‍රියාවලියේ නිරතව සිටින බව ද එම පැමිණිලි මගින් චෝදනා කර ඇත.

එසේම මෙම නිලධාරියා ඇතුළු නිලධාරීන් පිරිසක් ගල්කිස්ස ප්‍රදේශයේ සම්බාහන මධ්‍යස්ථානයකට පැමිණ එහි කළමනාකරුට පහරදීමේ සිද්ධියක් ගැන ද ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත පැමිණිලි කර ඇත.

පහරකෑමට ලක්වූ කළමනාකාරවරයා මාර්ගගතව සම්බාහන මධ්‍යස්ථානය පවත්වාගෙන යන අයකු බවත් එහි පැමිණ සේවය ලබාගත් පුද්ගලයෙකු මුදල් නොගෙවීම මත එම පුද්ගලයා විසින් මුදල් රැගෙන එනතුරු ජංගම දුරකථනය එහි තබා පිටව ගොස් ඇති බවත් පසුව චෝදනාවට ලක්වන ප්‍රසන්න නමැති උප පොලිස් පරීක්ෂකවරයා පැමිණ එහි කළමනාකරුට පහරදී ඇති බවත් මේ සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිෂන් සභාව වෙත පැමිණිලි සිදුකළ බවද නීතිඥ නාමල් රාජපක්ෂ සඳහන් කළේය.

මේ අතර ගල්කිස්ස ප්‍රදේශයේ සම්බාහන මධ්‍යස්ථාන ඇතුළු ව්‍යාපාරික ස්ථානවලින් පොලිස් නිලධාරීන් පැමිණ මුදල් කප්පම් ලබාගැනීම් වැඩිව ඇති බවත් චෝදනාවට ලක්වන උප පොලිස් පරීක්ෂකවරයා ද එහි සිටින බවත් මේ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙස පොලිස්පතිවරයාගෙන් ඉල්ලා සිටින බවත් ව්‍යාපාරිකයෝ සඳහන් කරති.