Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ දැවැන්ත පෙරළියක්! කෘතිම බුද්ධිය (AI) භාවිතා කළ හැකි MRI යන්ත්‍රයක්!

8 months ago

ශ්‍රී ලංකාවේ රජයේ රෝහල් පද්ධතියට ප්‍රථම වරට කෘතිම බුද්ධිය (AI) භාවිතා කළ හැකි අතිනවීන තාක්ෂණයෙන් යුත් MRI යන්ත්‍රයක් එක් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

රුපියල් මිලියන 450කට අධික පිරිවැයක් දරා කොළඹ ජාතික රෝහලේ ස්ථාපිත කරන ලද මෙම යන්ත්‍රය, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් අද (09) පස්වරුවේ රෝගී සත්කාරක සේවා සඳහා නිල වශයෙන් විවෘත කෙරුණි.

ජාතික රෝහලේ හදිසි අනතුරු අංශය සහ ස්නායු ශල්‍ය අංශය හරහා ප්‍රතිකාර ලබන රෝගීන්ගේ පරීක්ෂණ කටයුතු වඩාත් විධිමත් හා කඩිනම් කිරීමේ අරමුණින් මෙම අතිනවීන යන්ත්‍රය ස්ථාපිත කර ඇත.

කෘතිම බුද්ධිය (AI) සහිත මෙවැනි උසස් තාක්ෂණික යන්ත්‍රයක් මෙරට රජයේ රෝහලක ස්ථාපිත කළ ප්‍රථම අවස්ථාව මෙය ලෙස ඉතිහාසයට එක්වන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පෙන්වා දෙයි.

පසුගිය කාලසීමාව තුළ කොළඹ ජාතික රෝහලේ පැවති MRI යන්ත්‍ර තුනම වරින් වර අක්‍රීය වීම හේතුවෙන් රෝගීන් දැඩි අපහසුතාවයට පත් විය.

නව රජය බලයට පත්වීමෙන් පසු සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සහ නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණිගේ සෘජු මැදිහත් වීම මත එම යන්ත්‍ර තුනම මේ වන විට යථා තත්ත්වයට පත් කර තිබේ. අලුතින් එක් වූ මෙම යන්ත්‍රයත් සමඟ දැන් ජාතික රෝහල තුළ MRI යන්ත්‍ර හතරක්ම සක්‍රීය මට්ටමේ පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේය.