අමෙරිකානු ප්‍රහාරයකින් විනාශ වූ ‘අයිරිස් ඩෙනා’ (IRIS Dena) නෞකාවේ මියගිය ඉරාන නාවිකයන් 84 දෙනෙකුගේ මළසිරුරු ඉරාන තානාපති කාර්යාලයේ නිලධාරීන් වෙත භාර දෙන ලෙස ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් සමීර දොඩන්ගොඩ මහතා අද (11) නියෝග කළේය.
ගාල්ල වරාය පොලිසිය විසින් අධිකරණයෙන් කරන ලද ඉල්ලීමකට අනුව මෙම නියෝගය නිකුත් කර ඇති අතර, ඒ අනුව ගාල්ල ජාතික රෝහලේ අධ්‍යක්ෂවරයා වෙත අදාළ සිරුරු මුදාහරින ලෙස උපදෙස් දී තිබේ. රෝහලේ මෘත ශරීරාගාරයේ ඉඩකඩ මදිවීම හේතුවෙන් මෙම සිරුරු පසුගිය දින කිහිපය පුරා රෝහල් පරිශ්‍රයේම ස්ථාපනය කර තිබූ ජංගම ශීතාගාර දෙකක (Refrigerated Containers) තැන්පත් කර තිබුණි.
මෙම නාවිකයන්ගේ පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සහ අනන්‍යතාව හඳුනාගැනීමේ කටයුතු ද මේ වන විට අවසන් කර ඇති බැවින්, එම සිරුරු හැකි ඉක්මනින් ඉරානයට ගෙනයාම සඳහා තානාපති කාර්යාලය පියවර ගනු ඇතැයි අපේක්ෂා කෙරේ.
