Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

දුමින්ද සිල්වාගෙන් ප්‍රශ්න කිරීමට අධිකරණයෙන් අවසර

8 months ago

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ලෙස සැලකෙන ‘දෙමටගොඩ රුවන්’ නමැත්තාට ඇප ලබා දීම සඳහා රුපියල් ලක්ෂ 50ක අල්ලසක් ලබා ගැනීමේ සිද්ධියකට අදාළව, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා සැකකරුවෙකු ලෙස නම් කිරීමට අල්ලස් කොමිසම පියවර ගෙන තිබේ.

දැනට මරණීය දණ්ඩනය නියම වී බන්ධනාගාරගතව සිටින දුමින්ද සිල්වා මහතාගෙන් මෙම සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා අද (13) අල්ලස් කොමිසමට අවසර ලබා දුන්නේය. ඒ අනුව බන්ධනාගාරය තුළදී අදාළ ප්‍රකාශය ලබා ගැනීමට අවශ්‍ය පහසුකම් සලසන ලෙස බන්ධනාගාර අධිකාරීවරයාට නියෝග කෙරිණි.

අල්ලස් කොමිසම අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ අයථා මුදල් ඉපයීම සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්ව සිටි දෙමටගොඩ රුවන් නමැත්තාට ඇප ලබා දීම වෙනුවෙන් රුපියල් ලක්ෂ 50ක අල්ලස් මුදලක් ලබාගෙන ඇති බවයි. මෙම අල්ලස් මුදල ලබාගෙන ඇත්තේ එවකට ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා ලෙස කටයුතු කළ දුමින්ද සිල්වා මහතාගේ අනුදැනුම මත බවත්, ඒ අනුව ඔහු මෙම නඩුවේ සැකකරුවෙකු ලෙස නම් කරන බවත් කොමිසම අධිකරණය හමුවේ පැවසීය.

සිද්ධිය සම්බන්ධයෙන් අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගත් මොහොමඩ් මොහිදීන් සප්රාස් නවාස් නමැති සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් මෙම කරුණු අනාවරණය කෙරිණි. මීට අමතරව තවත් රුපියල් ලක්ෂ 100ක අල්ලස් මුදලක් ලබාගත් තවත් සැකකරුවෙකු මේ වන විට මියගොස් ඇති බව ද කොමිසම සඳහන් කළේය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා, සැකකරුවෙකු ලෙස නම් කළ දුමින්ද සිල්වා මහතා සම්බන්ධයෙන් විමර්ශනය කර වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස අල්ලස් කොමිසමට නියෝග කළේය.