අල්ලස් හා දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන්ගේ සහ කාර්ය මණ්ඩලයේ වැටුප් වැඩිකිරීමේ යෝජනාවට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමැතිය හිමි වී තිබේ. පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතීත්වයෙන් පසුගිය 10 වැනිදා රැස්වූ කාරක සභාවේදී මෙම තීරණය ගනු ලැබීය.
2023 දූෂණ විරෝධී පනත යටතේ කොමිෂන් සභාවේ තනතුරු 971ක් සඳහා විශේෂ දීමනා සහිත වැටුප් ව්‍යුහයක් කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව විසින් අනුමත කර තිබුණි. කොමිෂන් සභාවේ නිලධාරීන් ඉතා සංවේදී කාර්යයක නිරත වීමත්, ඔවුන්ට වෙනත් ආදායම් මාර්ග නොමැති වීමත් සලකා බලා ඔවුන්ට ඉහළ වැටුපක් ලබාදීම සාධාරණ බව කාරක සභාවේ මතය විය.
කෙසේ වෙතත්, කොමිසමේ නීති නිලධාරීන්ගේ වැටුප් නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට වඩා අඩුවෙන් යෝජනා වී තිබීම පිළිබඳව කාරක සභාව අවධානය යොමු කළ ද, බඳවා ගැනීමේ ක්‍රියාවලිය තවදුරටත් ප්‍රමාද නොකිරීමේ අරමුණින් වත්මන් යෝජනාවට අනුමැතිය ලබා දුන්නේය.
මෙහිදී අදහස් දැක්වූ කොමිෂන් සභාවේ අධ්යක්ෂ ජනරාල් රංග දිසානායක මහතා පෙන්වා දුන්නේ, පනත සම්මත වී වසර දෙකක් ගතවන තුරුත් සේවකයන් පත් කිරීම සහ වැටුප් තීරණය කිරීම ප්‍රමාද වීම පිළිබඳව තමා කනගාටු වන බවයි. එමෙන්ම කොමිෂන් සභාවේ සභාපතිවරයා ඇතුළු ඉහළ නිලධාරීන්ගේ වැටුප් අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ වැටුප් තලවලට අනුකූල විය යුතු බවට වූ යෝජනාව ඉදිරියේදී ඉදිරිපත් කිරීමට නියමිත බව ද අනාවරණය විය.
කොමිෂන් සභාවේ කටයුතු දැනට කොළඹට පමණක් සීමා වීම නිසා විමර්ශන කටයුතුවලදී මතුව ඇති දුෂ්කරතා මඟහරවා ගැනීමට අවම වශයෙන් පළාත් කාර්යාල 9ක්වත් පිහිටුවීමට අපේක්ෂා කරන බව අධ්යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.
