Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

දික්ඕවිට වරායට ගෙනා බහුදින ධීවර යාත්‍රාවේ රුපියල් බිලියන 3ක හෙරොයින්

8 months ago

දෙවුන්දරට දකුණු දෙසින් වූ මුහුදු ප්‍රදේශයේදී නාවික හමුදා භාරයට ගත් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ බහුදින ධීවර යාත්‍රාව අද (16) උදෑසන දික්ඕවිට වරායට රැගෙන එනු ලැබීය. ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතා සඳහන් කළේ එහි තිබී රුපියල් බිලියන 3කට ආසන්න වටිනාකමකින් යුත් හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 123ක් සොයාගත් බවයි.

නාවික හමුදාව විසින් ඊයේ (15) දින සිදුකළ මෙම වැටලීමේදී උර 6ක අසුරා තිබූ මත්ද්‍රව්‍ය තොගය සමඟ සැකකරුවන් පස්දෙනෙකු සිය භාරයට ගෙන තිබුණි. යාත්‍රාව දික්ඕවිටට රැගෙන ඒමෙන් පසු පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මඟින් සිදුකළ පරීක්ෂණවලදී එම පාර්සල් තුළ හෙරොයින් අඩංගු බව තහවුරු විය. අත්අඩංගුවට ගත් සැකකරුවන් ඉදිරි විමර්ශන සඳහා මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාරදී ඇත.

මෙම මෙහෙයුමට සමගාමීව බේරුවල මුහුදු සීමාවට ඔබ්බෙන් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ බවට සැක කෙරෙන තවත් බහුදින ධීවර යාත්‍රාවක් නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇති බව නියෝජ්‍ය අමාත්‍යවරයා අනාවරණය කළේය. එම යාත්‍රාව ද මේ වන විට ගොඩබිමට රැගෙන එමින් පවතින අතර එහි අඩංගු මත්ද්‍රව්‍ය ප්‍රමාණය පසුව දැනුම් දීමට නියමිතය.

පසුගිය සතියේදී පමණක් දකුණු මුහුදු තීරයේදී මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ යාත්‍රා 3ක් නාවික හමුදාව විසින් වටලනු ලැබීය. ඒ අනුව මෙම වසරේ මේ දක්වා කාලය තුළ මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ බහුදින ධීවර යාත්‍රා 7ක් සිය භාරයට ගැනීමට ආරක්ෂක අංශ සමත්ව තිබේ.