ශ්‍රී ලංකාව තුළ දේශීය මෙන්ම විදේශීය පුද්ගලයින් විසින් නිසි අවසරයකින් තොරව ඩ්‍රෝන යානා (Unmanned Aerial Vehicles) පියාසර කිරීම සපුරා තහනම් බව ශ්‍රී ලංකා ගුවන් හමුදාව නිල වශයෙන් නිවේදනය කරයි.
ගුවන් හමුදා මූලස්ථානය පෙන්වා දෙන්නේ මීට පෙර අවස්ථා කිහිපයකදීම අධි ආරක්ෂිත කලාප තුළ අවසරයකින් තොරව ඩ්‍රෝන යානා ක්‍රියාත්මක කළ පුද්ගලයින්ට එරෙහිව දැඩි නීත්‍යානුකූල ක්‍රියාමාර්ග ගෙන ඇති බවයි. ජාතික ආරක්ෂාව තහවුරු කිරීම සහ ගුවන් කලාපයේ ආරක්ෂාව සුරැකීම මෙහි මූලික අරමුණ වී තිබේ.
ශ්‍රී ලංකාව තුළ ඩ්‍රෝන යානා පියාසර කිරීමට අදහස් කරන සියලුම පුද්ගලයින් සහ ආයතන, සිවිල් ගුවන් සේවා අධිකාරිය (CAA) සහ ආරක්ෂක අමාත්‍යාංශය ඇතුළු අදාළ බලධාරීන්ගෙන් නිසි අවසරය ලබාගත යුතුය. පවතින නීති සහ රෙගුලාසිවලට අනුකූලව පමණක් මෙම ක්‍රියාකාරකම් සිදුකරන ලෙස ගුවන් හමුදාව අවධාරණය කරයි.
ඩ්‍රෝන යානා භාවිත කරන්නන්ට ඇතිවිය හැකි අනපේක්ෂිත නීතිමය ගැටලු සහ අපහසුතා වළක්වා ගැනීම සඳහා මෙම දැනුම්වත් කිරීම සිදුකරන බව ගුවන් හමුදාව පවසයි.
