හිටපු අමාත්‍ය මනුෂ නානායක්කාර මහතාට එරෙහිව එල්ල වී ඇති දූෂණ චෝදනා සම්බන්ධ විමර්ශන කටයුතු අවසන් කර ඇති බව අල්ලස් කොමිසම අද (20) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය. අදාළ විමර්ශන ගොනු ඉදිරි පියවර ගැනීම සඳහා කොමිසමේ කොමසාරිස්වරුන් වෙත යොමු කර ඇති බව ද එහිදී සඳහන් කෙරිණි.
2023 වසරේදී විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මානව සම්පත් නිලධාරීන් පුහුණු කිරීමේ කටයුතු පෞද්ගලික සමාගමකට පවරා දීමෙන් රජයට පාඩුවක් සිදු කළ බවට මනුෂ නානායක්කාර මහතාට චෝදනා එල්ල වී තිබේ. මෙම ක්‍රියාව හරහා ‘දූෂණය’ නමැති වරද සිදු කර ඇති බවට අල්ලස් කොමිසම විසින් මෙම පැමිණිල්ල ගොනු කර ඇත.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා, විමර්ශනවල ප්‍රගතිය දැනුම් දෙන ලෙස නියෝග කරමින් අදාළ පැමිණිල්ල ලබන අගෝස්තු මස 28 වනදා යළි කැඳවීමට නියම කළේය.
