මැදපෙරදිග පවතින යුදමය තත්ත්වය හමුවේ මෙරට මතුව ඇති ඉන්ධන අර්බුදය හේතුවෙන් තැපැල් දෙපාර්තමේන්තුවේ ලිපි ප්‍රවාහන කටයුතු සීමා කිරීමට පියවර ගෙන තිබේ. ඒ අනුව දිවයින පුරා තැපැල් හුවමාරු කිරීම් දිනක් හැර දිනක් සිදු කිරීමටත්, සෑම බදාදා දිනකම තැපැල් ප්‍රවාහන කටයුතු සම්පූර්ණයෙන්ම නතර කිරීමටත් තීරණය කර ඇති බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ සම කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා සඳහන් කළේය.
ඉන්ධන මිල ඉහළ යාම සහ දෙපාර්තමේන්තුවට ලැබී ඇති ඉන්ධන කෝටාව කළමනාකරණය කිරීමේ අරමුණින් මෙම තීරණය ගෙන ඇත. මේ හේතුවෙන් ඉදිරියේදී තැපැල් ලිපි සහ පාර්සල් බෙදා හැරීමේ යම් ප්‍රමාදයක් සිදුවිය හැකි බව ඒ මහතා පෙන්වා දෙයි.
එමෙන්ම මැදපෙරදිග පවතින යුද ගැටුම් හේතුවෙන් මතුව ඇති තත්ත්වය හමුවේ විදෙස් තැපැල් සාමාන්‍ය පරිදි නොලැබෙන බවත් පැවසූ ඒ මහතා මෙරටින් විදෙස් රටවල්වලට පිටත්වන තැපෑලත් මේ වන විට දැඩි ප්‍රමාදයකට ලක්ව ඇති බවත් සඳහන් කළේය.
කෙසේ වෙතත් තැපැල් කාර්යාල විවෘත කිරීම බදාදා සහ ඉරිදා දින හැර අන් සෑම දිනයකදීම සිදුවන බවත් පැවසූ ඒ මහතා ඒ අනුව පාරිභෝගිකයින්ට සිය තැපැල් භාණ්ඩ තැපැල් කාර්යාල වෙත ලබා දීමේ හැකියාව පවතින බවද වැඩිදුරටත් අදහස් දක්වමින් සඳහන් කළේය.
