පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියේ ඇති වූ හදිසි බිඳ වැටීමක් හේතුවෙන් තාවකාලිකව අත්හිටුවා තිබූ සියලුම මහජන සේවාවන් අද (24) පෙරවරුවේ සිට නැවත ආරම්භ කර තිබේ.
පසුගිය දින කිහිපය තුළ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන පරිගණක පද්ධතියේ ඇති වූ කාර්මික දෝෂයක් හේතුවෙන් ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමේ එක් දින සේවාව ඇතුළු අත්‍යවශ්‍ය කටයුතු රැසකට බාධා එල්ල විය. මේ හේතුවෙන් හැඳුනුම්පත් ලබා ගැනීමට පැමිණි ජනතාව දැඩි දුෂ්කරතාවයට පත්ව සිටියහ.
වැඩබලන පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල් එම්. එස්. පී. සූරියප්පෙරුම මහතා සඳහන් කළේ, අදාළ තාක්ෂණික දෝෂයන් මේ වන විට සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයට පත් කර ඇති බවයි. ඒ අනුව අද (24) පෙරවරුවේ සිට බත්තරමුල්ල ප්‍රධාන කාර්යාලය සහ ප්‍රාදේශීය කාර්යාල හරහා ලබාදෙන සියලුම සේවාවන් සුපුරුදු පරිදි ක්‍රියාත්මක වේ.
විශේෂයෙන්ම ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමේ එක් දින සේවාව ලබා ගැනීමට පැමිණෙන ජනතාවට අද සිට කිසිදු බාධාවකින් තොරව සිය කටයුතු කර ගැනීමට අවස්ථාව පවතින බව ද දෙපාර්තමේන්තුව වැඩිදුරටත් අවධාරණය කරයි.
