පවතින බලශක්ති අභියෝගයට විසඳුම් ලෙස රුසියාවෙන් ඉන්ධන ලබා ගැනීම සඳහා වන රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡා මේ වන විට ආරම්භ කර ඇති බව කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද (24) පැවසීය.
රාජ්‍යයන් අතර සෘජු ගිවිසුම් (Government to Government) මඟින් ඉන්ධන ලබා ගැනීමේ හැකියාව පිළිබඳව රජය දැඩි අවධානය යොමු කර ඇති බවත්, ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා රුසියාවේ බලශක්ති නියෝජ්‍ය අමාත්‍යවරයා ඉදිරියේදී මෙරටට පැමිණීමට නියමිත බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
ශ්‍රී ලංකාවට ඉන්ධන ලබා දීමට සූදානම් බවට මෙරට ඉරාන තානාපතිවරයා කළ ප්‍රකාශය රජය අගය කරන බව අමාත්‍යවරයා මෙහිදී පැවසීය. කෙසේ වෙතත්, එම අවස්ථාවෙන් ප්‍රයෝජන ගැනීමට නම් තමන් සතුව ප්‍රවාහන නෞකා (Tankers) තිබිය යුතු බවත්, ශ්‍රී ලංකාවට එවැනි පහසුකමක් නොමැති වීම බාධාවක් බවත් ඔහු පෙන්වා දුන්නේය.
වත්මන් ඉන්ධන අවශ්‍යතාව සපුරාලීම සඳහා දැනටමත් ඇනවුම් කිහිපයක් ලබා දී ඇති අතර, ඉන් ඉන්ධන නැව් කිහිපයක් එළැඹෙන අප්‍රේල් මාසයේදී මෙරටට ළඟා වීමට නියමිත බව අමාත්‍යවරයා වැඩිදුරටත් තහවුරු කළේය. මැදපෙරදිග අර්බුදය හමුවේ වුවද මෙරට ඉන්ධන සැපයුම අඛණ්ඩව පවත්වාගෙන යාමට රජය උපරිම පියවර ගන්නා බව ඔහු අවධාරණය කළේය.
“රුසියාවත් එක්ක සාකච්ඡා රාජ්‍ය තාන්ත්‍රික මට්ටමේ පවතිනවා නමුත් පසුගිය කාලයේ අපිට රුසියාවත් එක්ක තෙල් ගැනීමේ හැකියාවක් ලැබුණේ නෑ. නමුත් අපි උත්සාහ කරමින් ඉන්නවා රාජ්‍යයන් සහ රාජ්‍යන් අතර ගිවිසුම් අත්සන් කිරීමෙන් මේක කරගන්න පුළුවන්ද කියලා. රුසියානු නියෝජ්‍ය බලශක්ති අමාත්‍යවරයා ලංකාවට පැමිණිමට නියමිතයි. එතකොට මේ සාකච්ඡා තවත් විදිමත් කරන්න පුළුවන්කමක් තිබෙනවා.
ඉරානයෙන් තෙල් ලබා ගැනීමේ ප්රශ්නයේදී දැන් තිබෙන්නේ නැව් අයිති රටවලට ඒ අවස්ථාවෙන් ප්‍රයෝජනයක් ගැනීමේ හැකියාවක් තිබෙනවා. නමුත් අපිට එහෙම හැකියාවක් නෑ. අපි ස්තූතිවන්ත වෙනවා ඒ ප්‍රකාශයට නමුත් අපි දැන් බොරතෙල් සහ පිරිපහදු තෙල්වලට ඇනවුම් කීපයක් දීලා තිබෙන්නේ. ටෙන්ඩර් ඕපන් වෙලා තිබෙනවා ඒ තෙල් ලැබෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. අදත් එක ටෙන්ඩරයක් ඕපන් වීමට නියමිතයි. දැනට ඕපන් වෙලා තිබෙන ටෙන්ඩර් අනුව අප්‍රේල් මාසයේදී තෙල් නැව් කිහිපයක් ලැබෙනවා. මේවාත් එක්ක තමයි තෙල් ප්‍රමාණය කළමනාකරණය කරගන්න වෙන්නේ.”
