දිවුලපිටිය ප්‍රදේශයේ සිට සෝමාවතිය පුදබිම වැඳපුදා ගැනීම සඳහා වන්දනාකරුවන් රැගෙන ආ බස් රථයක් අද (24) පෙරවරුවේ සුංගාවිල – සෝමාවතිය ප්‍රධාන මාර්ගයේදී අනතුරට ලක්ව තිබේ.
සුංගාවිල – සෝමාවතිය මාර්ගයේ 36 කණුව ආසන්නයේදී මෙම බස් රථය මාර්ගයෙන් ඉවතට පැන පෙරළී ඇති බව වාර්තා වේ. අනතුර සිදුවන අවස්ථාවේදී එහි වන්දනාකරුවන් පිරිසක් ගමන් කරමින් සිට ඇත.
මෙම අනතුරෙන් තුවාල ලැබූ පුද්ගලයින් අට දෙනෙකු කඩිනමින් පොළොන්නරුව රෝහලට ඇතුළත් කිරීමට ප්‍රදේශවාසීන් සහ පොලිසිය පියවර ගෙන තිබේ. ඔවුන්ගේ තත්ත්වය බරපතල නොවන බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
පුලස්තිගම පොලිසිය විසින් සිදු කරන ලද මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ රියදුරුට නින්ද යාම හේතුවෙන් බස් රථය පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන ඇති බවයි. සිද්ධිය සම්බන්ධයෙන් පුලස්තිගම පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
