මැදපෙරදිග පවතින යුදමය වාතාවරණය හමුවේ ශ්‍රී ලංකාව මුහුණ දෙන ඕනෑම අභියෝගයකදී සහාය වීමට රුසියාව සූදානම් බව රුසියානු බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය රෝමන් මාර්ෂවින් (Roman Marshavin) මහතා අවධාරණය කරයි. මෙරට නිල සංචාරයක නිරත නියෝජ්‍ය අමාත්‍යවරයා අද (26) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු වූ අවස්ථාවේදී මේ බව සඳහන් කළේය.
ගෝලීය අර්බුදය හමුවේ ශ්‍රී ලංකාව මුහුණ දී සිටින තත්ත්වය පිළිබඳව රුසියාවට මනා අවබෝධයක් පවතින බව මෙහිදී පෙන්වා දුන් නියෝජ්‍ය අමාත්‍යවරයා, බලශක්ති ක්ෂේත්රයට අමතරව තාක්ෂණික සහ යන්ත්‍රෝපකරණ ඇතුළු ඕනෑම ක්ෂේත්රයකින් ශ්‍රී ලංකාවට සහාය වීමට තම රට සූදානම් බව පැවසීය. දෙරට අතර පවතින දීර්ඝකාලීන සබඳතා මෙම සංචාරය හරහා තවදුරටත් තහවුරු වනු ඇති බවට ද ඔහු විශ්වාසය පළ කළේය.
ශ්‍රී ලංකාව සහ රුසියාව අතර පවතින ඓතිහාසික මිත්‍රත්වය මෙහිදී සිහිපත් කළ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, අතීත සෝවියට් රුසියාව මෙරට ආර්ථික සහ සමාජ සංවර්ධනයට ලබා දුන් තාක්ෂණික සහ කාර්මික සහාය අගය කළේය. විශේෂයෙන්ම මෑත කාලීනව ශ්‍රී ලංකාවට වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණෙන රටක් ලෙස සහ ජාත්‍යන්තර කටයුතුවලදී රුසියාව ලබා දෙන සහාය ජනාධිපතිවරයා මෙහිදී කෘතවේදීව සිහිපත් කළේය.
මෙම සාකච්ඡාව සඳහා ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් කම්කරු අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි ඇතුළු ඉහළ පෙළේ නිලධාරීන් පිරිසක් ද, රුසියාව නියෝජනය කරමින් ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති ලෙවාන් එස්. ජගාරියන් (Levan S. Dzhagaryan) ඇතුළු දූත පිරිසක් ද එක්ව සිටියහ.
