Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

නාමල් උයන ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කෙරේ

8 months ago

අනුරාධපුර දිස්ත්‍රික්කයේ පලාගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් හෙක්ටයාර 602ක් පුරා විහිදුණු ‘ජාතික නාමල් උයන’ ශ්‍රී ලංකාවේ ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කිරීම අද (26) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදු විය. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම උත්සවය ජාතික නාමල් උයන ස්ථාපිත කර වසර 35ක් පිරීම නිමිත්තෙන් සංවිධානය කර තිබුණි.

බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ මැදිහත්වීමෙන් සිදු කෙරුණු මෙම ප්‍රකාශයට පත් කිරීමේ ප්‍රධාන අරමුණ වන්නේ මෙරට සුවිශේෂී උරුමයන් හඳුනාගෙන ඒවා අනාගත පරපුරට දායාද කිරීමයි. මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා සඳහන් කළේ, මෙම අද්විතීය පරිසර පද්ධතිය සුරක්ෂිත කිරීම සමස්ත ජාතියේම වගකීමක් බවයි. නාමල් උයන ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් එහි නිර්මාතෘ පූජ්‍ය වනවාසී රාහුල හිමියන් දශක තුනකට වැඩි කාලයක් තිස්සේ සිදු කළ කැපවීම ද ජනාධිපතිවරයා මෙහිදී ඇගයීමට ලක් කළේය.

ජාතික නාමල් උයන ජාතික උරුමයක් ලෙස සනිටුහන් කෙරෙන සමරු ඵලකය ජනාධිපතිවරයා අතින් නිරාවරණය කෙරුණේ මාර්ගගත (Online) තාක්ෂණය ඔස්සේය. මෙම අවස්ථාවට සමගාමීව ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද සමරු මුල් දින කවරය සහ ‘ජාතික නාමල් උයන ශාස්ත්‍රීය සංග්‍රහය’ ද මෙහිදී ජනාධිපතිවරයා වෙත පිළිගන්වන ලදී.

මෙම ප්‍රකාශයට පත් කිරීමත් සමඟ ජාතික නාමල් උයන පාරිසරික වශයෙන් පමණක් නොව, රාජ්‍ය මට්ටමේ ආරක්ෂාව හිමිවන සුවිශේෂී කලාපයක් බවට පත්වනු ඇත.