නැගෙනහිර පළාතතේ කුමන ජාතික වන උද්‍යානයේ බඹරගස්තලාව ප්‍රදේශයේ භාවනායෝගීව වැඩ සිටි විදේශීය භික්ෂූන්වහන්සේ නමක් කොටියකුගේ ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්ව ඇතැයි වනජීවි සංරක්ෂණ සංසදයේ ලේකම් පරිසර සංරක්ෂණවේදී නයනක රන්වැල්ල පවසනවා.
මෙම අනතුර ඊයේ (25) රාත්‍රී සිදුව ඇති බවත් අදාල විදේශීය ස්වාමීන්වහන්සේ එම ස්ථානයේ ලෙනක් තුළ භාවනායෝගීව සිට ඇති බව ද ඔහු පැවසුවා.
වනජීවි නිලධාරින් පිරිසක් එම ස්ථානයෙන් ගමන් කරන අවස්ථාවේදී එම ස්වාමීන්වහන්සේගේ බෙල්ල සහ පපු ප්‍රදේශය තුවාල සහිතව වැටී සිටි බවට නිරීක්ෂණය කර ඇති බවත් එම සංසදයේ ලේකම්වරයා සඳහන් කරනවා.
සිද්ධිය සිදුවූ ආසන්නයේ කොටියකුගේ අඩි සළකුණු දැකගත හැකිව තිබී ඇති අතර දේහය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණය සඳහා රැඳී සිටින අතරවාරයේදී ද එම ස්ථානයට කොටියකු නැවතත් එම කුණ ආසන්නයට පැමිණ ඇති බවටත් හෙළිවූ බව ඔහු සඳහන් කරනවා.
මෙම ස්ථානය වන උද්‍යානයේ ඇතුළත වීම නිසා මෙහි භාවනායෝගීව සිටීම විශාල ජීවිත තර්ජනයක් බවට හේතුවන්නක් බවට පරිසරවේදීන් කාලයක සිට පෙන්වාදී ඇති බව පැවසූ රන්වැල්ල මහතා, මෙය ගණනකට නොගෙන ස්වාමින්වහන්සේලා කිහිප නමක් එම ස්ථානයේ වැඩවාසය කරමින් සිට ඇති බවත් සඳහන් කළා.
මෙම සිද්ධිය සිදුවන අවස්ථාවේදී එම ස්ථානයේ ස්වාමින්වහන්සේලා තුන්නමක් එහි වැඩසිට ඇති බවට තොරතුරු හෙළිවන බවද ඔහු පැවසුවා.
