දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ් මහතා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලබා සිටි නාවික හමුදා සාමාජිකයින් ඇතුළු විත්තිකරුවන් පස්දෙනෙකු නිදොස් කොට නිදහස් කරමින් කොළඹ මහාධිකරණය ලබා දී තිබූ තීන්දුව අභියාචනාධිකරණය ඊයේ (27) බලශුන්‍ය කළේය.
සශී මහේන්ද්‍රන් සහ අමල් රණරාජා යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කරන ලදී.
එහිදී විනිසුරු මඩුල්ල නියෝග කළේ අදාළ නඩුව යළි මුල සිට විභාග කිරීමට පියවර ගන්නා ලෙසයි.
මීට පෙර කොළඹ මහාධිකරණය විසින් ජූරි සභාවක් හමුවේ මෙම නඩුව විභාග කර විත්තිකරුවන් පස්දෙනා නිදොස් කොට නිදහස් කිරීමට තීන්දු කර තිබුණි.
කෙසේ වෙතත්, එම තීන්දුව නීති විරෝධී බවත් එය අභියෝගයට ලක් කරන බවත් පවසමින් නීතිපතිවරයා විසින් අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබුණි.
එම පෙත්සම දීර්ඝ ලෙස විභාග කිරීමෙන් අනතුරුව අභියාචනාධිකරණය මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළේය.
මෙම නියෝගයත් සමඟ නඩරාජා රවිරාජ් ඝාතන සිද්ධියට අදාළ නඩු විභාගය යළිත් ආරම්භ වීමට නියමිතය.
