මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම්වලට ආධාර අනුබල දුන් බවට සැකකෙරෙන පියෙකු සහ පුතෙකු කටුනායක ගුවන්තොටුපළ පැමිණීමේ පර්යන්තයේදී ඊයේ (28) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
පසුගිය ජනවාරි මස 29 වැනිදා බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසය විසින් ගණේමුල්ල ප්‍රදේශයේදී සිදුකළ වැටලීමකදී කොකේන් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 04යි ග්‍රෑම් 423ක් සහ මල්පෙති (පෙති වර්ගයේ මත්ද්‍රව්‍ය) 3450ක් සමඟ සැකකාරියක අත්අඩංගුවට ගන්නා ලදී. එම විමර්ශනවලදී අනාවරණය වූයේ ඇයගේ ස්වාමිපුරුෂයා සහ පුත්‍රයා මෙම ජාවාරමට සෘජුවම සම්බන්ධ වී ඇති බවයි.
අදාළ වැටලීමෙන් පසු සැකකරුවන් දෙදෙනා නීතිවිරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් ඉන්දියාවට පලාගොස් තිබිණි. ඔවුන් ඉන්දියාවේ රැඳී සිටින බවට ලද තොරතුරු මත ඉන්දීය ආරක්ෂක අංශ විසින් ඉකුත් 24 වැනිදා මොවුන් අත්අඩංගුවට ගෙන ඇත. ඉන් අනතුරුව නීතිවිරෝධී ලෙස එරට රැඳී සිටීමේ චෝදනාව මත ඔවුන්ව මෙරටට පිටුවහල් කිරීමට පියවර ගැනිණි.
ත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 23 සහ 57 යන වයස්වල පසුවන කොළඹ 15 ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ. කටුනායකදී අත්අඩංගුවට ගත් මොවුන් වැඩිදුර විමර්ශන සඳහා බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසය වෙත භාර දී තිබේ.
