රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) සැලසුම් කළ පරිදි අද (31) උදෑසන 08.00 සිට ක්‍රියාත්මක වන පරිදි පැය 24ක දීප ව්‍යාප්ත සංකේත වැඩවර්ජනයක් ආරම්භ කර තිබේ.
විධිමත් ක්‍රමවේදයෙන් බැහැරව සහ දේශපාලනික අරමුණු මත සිදු කර ඇති බව කියන අසාධාරණ වෛද්‍ය ස්ථාන මාරුවීම්වලට විරෝධය පළ කිරීම සඳහා මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය දියත් කිරීමට එම සංගමය ඊයේ (30) තීරණය කළේය.
කොළඹ පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදී අදහස් දැක්වූ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය හංසමාල් වීරසූරිය මහතා අවධාරණය කළේ, කිසිදු විමසීමකින් තොරව දේශපාලන උවමනාවන් මත සකස් කළ ලැයිස්තුවකට අනුව මෙම මාරුවීම් සිදු කර ඇති බවයි.
මෙම වර්ජනය හේතුවෙන් අද දිනයේ දිවයින පුරා රජයේ රෝහල්වල බාහිර රෝගී අංශයේ (OPD) කටයුතු සහ සායනික සේවාවන් සම්පූර්ණයෙන්ම පාහේ අඩාල වනු ඇතැයි අපේක්ෂා කෙරේ. කෙසේ වෙතත්, රෝගී ජීවිත අවදානමට ලක්වීම වැළැක්වීම සඳහා හදිසි ප්‍රතිකාර සේවා, දැඩි සත්කාර ඒකක සහ හදිසි සැත්කම් බාධාවකින් තොරව පවත්වාගෙන යන බව සංගමය වැඩිදුරටත් සඳහන් කරයි.
