2015 ජනාධිපතිවරණ සමයේ සතොස ආයතනය හරහා රුපියල් මිලියන 39ක රජයේ මුදල් අවභාවිත කරමින් කැරම් බෝඩ් සහ දාම් ලෑලි බෙදාහැරීමේ චෝදනාවට අදාළ නඩුවේ තෙවන විත්තිකරු ලෙස නම් කර සිටි ක්‍රීඩා අමාත්‍යාංශයේ හිටපු ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් නන්ද මල්ලවාරච්චි මහතාව නඩුවෙන් මුදා හැරීමට කොළඹ මහාධිකරණය ඊයේ (30) නියෝග කර තිබෙනවා.
මෙම නිදහස් කිරීම සිදු වූයේ අපරාධ නඩු විධාන සංග්‍රහය පනතේ 194 වන වගන්තිය යටතේ නීතිපතිවරයා කළ ඉල්ලීමක් අනුවයි.
මීට පෙර මෙම නඩුව කැඳවූ අවස්ථාවලදී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මාධව තෙන්නකෝන් මහතා අවධාරණය කර තිබුණේ විත්තිකරුවන් තිදෙනාම මෙම වංචාවට එකසේ වගකිව යුතු බවයි.
එහෙත් ඊයේ දින නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් ලක්මාලි කරුණාරත්න මහත්මිය කළ ඉල්ලීම පිළිගනිමින් විනිසුරු බුද්ධික සී. රාගල මහතා මෙම අවසරය ලබා දුන් අතර, මෙය ‘නිදොස් කර නිදහස් කිරීමක්’ නොවන බව ද විනිසුරුවරයා අවධාරණය කළා.
මේ අතර, නඩුවේ සෙසු විත්තිකරුවන් වන හිටපු අමාත්‍යවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ සහ නලින් ප්‍රනාන්දු විසින් ඉදිරිපත් කළ මූලික විරෝධතා ප්‍රතික්ෂේප කිරීමට ද මහාධිකරණය තීන්දු කළා.
විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් තර්ක කර තිබුණේ, අදාළ සිදුවීමටම අල්ලස් කොමිසම පැවරූ නඩුවකින් තම සේවාදායකයින් දැනටමත් වරදකරුවන් වී සිර දඬුවම් විඳින බැවින්, එකම චෝදනාවට දෙවරක් නඩු පැවරිය නොහැකි බවයි.
එහෙත් එම විරෝධතා ප්‍රතික්ෂේප කළ විනිසුරුවරයා පෙන්වා දුන්නේ, අල්ලස් කොමිසම නඩු පවරා තිබුණේ අල්ලස් පනතේ 70 වන වගන්තිය යටතේ වුවද, නීතිපතිවරයා මෙම නඩුව පවරා ඇත්තේ අපරාධ නඩු විධාන සංග්‍රහයේ 170 වන වගන්තිය යටතේ රජයේ මුදල් සාවද්‍ය පරිහරණය සම්බන්ධයෙන් බවයි.
මෙම චෝදනාවල නීතිමය සංඝටක එකිනෙකට වෙනස් බැවින් මෙම නඩුව ඉදිරියට පවත්වාගෙන යාමට නීතිපතිවරයාට නෛතික හැකියාව ඇති බව විනිසුරුවරයා ප්‍රකාශ කළා.
වෙනත් නඩුවක් සඳහා දැනට සිර දඬුවම් විඳින මහින්දානන්ද අලුත්ගමගේ සහ නලින් ප්‍රනාන්දු යන මහත්වරුන් ඊයේ බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.
මෙම නඩුව පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා ජූනි මස 26 වනදා නැවත කැඳවීමට නියමිතයි.
