බංග්ලාදේශ අග්‍රාමාත්‍ය තාරික් රහ්මාන් එරට රාජ්‍ය සංචාරයක නිරත වන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත යොමු කළ නිල ආරාධනය බංග්ලාදේශ විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය හුමායුන් කබීර් විසින් අද (18) පෙරවරුවේ භාර දෙනු ලැබුවා.
මෙම නිල ආරාධනා පත්‍රය ජනාධිපතිවරයා වෙත ජනාධිපති ලේකම් කාර්යාලයේදී භාර දුන් බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.
දෙරට අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින් මෙම ආරාධනය සිදු කර තිබෙනවා.
මෙම හමුවේදී ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර දේශපාලන, ව්‍යාපාරික, සංස්කෘතික සහ අධ්‍යාපන ඇතුළු ක්ෂේත්‍ර රැසක රාජ්‍යතාන්ත්‍රික සබඳතා තවදුරටත් වර්ධනය කර ගැනීම පිළිබඳව සාකච්ඡා කෙරුණා.
එහිදී අදහස් දැක්වූ බංග්ලාදේශ විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ, ජනාධිපති අනුර කුමාර දිසානායකගේ නායකත්වයෙන් ක්‍රියාත්මක වන ‘ක්ලීන් ශ්‍රී ලංකා’ (Clean Sri Lanka) වැඩසටහන සහ දරිද්‍රතාව පිටුදැකීමේ වැඩපිළිවෙළ පිළිබඳව බංග්ලාදේශ අග්‍රාමාත්‍යවරයා ඇතුළු රජය ඉහළ පැහැදීමකින් පසුවන බවයි.
එම වැඩපිළිවෙළෙහි ආදර්ශය බංග්ලාදේශයට ද ඉතා වැදගත් වනු ඇති බවයි හෙතෙම පැවසුවේ.
තවද ඇඟලුම්, සංචාරක සහ පුනර්ජනනීය බලශක්ති ඇතුළු ක්ෂේත්රවල සහයෝගිතාව වර්ධනය කර ගනිමින් දෙරටටම ප්රතිලාභ සැලසෙන අයුරින් කටයුතු කිරීමට අපේක්ෂා කරන බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.
අන්‍යෝන්‍ය අවබෝධය, විශ්වාසය සහ සහයෝගිතාව මත පදනම්ව ඉදිරියේදී දෙරට අතර සබඳතා තවදුරටත් ශක්තිමත් වනු ඇති බවට ජනාධිපති අනුර කුමාර දිසානායක මෙහිදී විශ්වාසය පළ කළේ.
ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්රයේ නියුතු දේශීය සමාගම්වලට බංග්ලාදේශයේ එම ක්ෂේත්රයේ සංවර්ධනයට සහ ප්‍රවර්ධනයට දායක වීමේ හැකියාව පවතින බව ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නා.
මෙම අවස්ථාවට කම්කරු අමාත්‍ය සහ මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ ලේකම් රෝෂන් ගමගේ, ශ්‍රී ලංකාවේ බංග්ලාදේශ මහ කොමසාරිස් සලාහුදීන් මහමුද් ඇතුළු බංග්ලාදේශ විදේශ කටයුතු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් ද එක්ව සිටියා.
