සමාජ මාධ්‍ය ජාල සහ දුරකථන ඇමතුම් භාවිතා කරමින් සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් දිවයිනේ විවිධ පොලිස් ස්ථාන වෙත පැමිණිලි රැසක් ලැබෙමින් පවතින බව පොලිස් මූලස්ථානය නිවේදනය කරයි.
ජාවාරම්කරුවන් විසින් විවිධ උපක්‍රම භාවිතා කරමින් මහජනතාව බිය ගන්වා හෝ මුලා කර මුදල් ලබාගැනීමේ සිද්ධීන් කිහිපයක්ම මිරිහාන සහ පාදුක්ක ඇතුළු පොලිස් ස්ථාන රැසකින් වාර්තා වී තිබේ.
- බැංකු නිලධාරීන් ලෙස පෙනී සිටීම: ඔබගේ ගිණුමට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් මුදල් බැර කර ඇති බව පවසා බිය ගන්වා, එම මුදල් වෙනත් ගිණුම්වලට බැර කරවා ගැනීම.
- පොලිස් නිලධාරීන් ලෙස පෙනී සිටීම: අසත්‍ය චෝදනා එල්ල කර නීතිය ක්‍රියාත්මක නොකිරීමට නම් මුදල් ගෙවන ලෙස බලපෑම් කිරීම.
- ත්‍යාග සහ රැකියා සිහින: වටිනා ත්‍යාග දිනුම් ඇදී ඇති බව හෝ විදේශ රැකියා අවස්ථා ඇති බව පවසා මූලික තැන්පතු ලබා ගැනීම.
- ඩිජිටල් දත්ත සොරකම: OTP කේත, QR කේත හෝ සැකසහිත Links මගින් ඔබගේ බැංකු ගිණුම්වල රහස්‍ය තොරතුරු ලබා ගැනීම.
පොලීසිය විසින් මහජනතාව වෙත පහත ආරක්ෂිත උපදෙස් පිළිපදින ලෙස ඉල්ලා සිටියි:
- ඔබගේ බැංකු තොරතුරු, NIC අංකය, මුරපද (Passwords), OTP කේත හෝ PIN අංක කිසිදු පාර්ශවයකට ලබා නොදෙන්න.
- සමාජ මාධ්‍ය පිටු පරිශීලනයේදී ‘Verified’ ලාංඡනය සහිත නිල පිටු පමණක් විශ්වාස කරන්න.
- නාඳුනන පාර්ශවයන් එවන Links මත ක්ලික් කිරීමෙන් හෝ QR කේත ස්කෑන් කිරීමෙන් වළකින්න.
- ඕනෑම මුදල් හුවමාරුවකට පෙර අදාළ පුද්ගලයාගේ අනන්‍යතාවය නිසි ලෙස තහවුරු කරගන්න.
ඔබ මෙවැනි වංචාවකට හසු වුවහොත් වහාම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) පරිගණක අපරාධ විමර්ශන අංශය වෙත පැමිණිලි කරන්න.
- මිරිහාන විශේෂ අපරාධ විමර්ශන අංශය: 011-2852556 / 075-3994214
- පරිගණක අපරාධ විමර්ශන අංශය (නියෝජ්‍ය අධ්යක්ෂ): 011-2300638
- පරිගණක අපරාධ විමර්ශන අංශය (ස්ථානාධිපති): 011-2381058
