පවර් ප්ලේ අවස්ථාවේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට ලකුණු විශාල ප්‍රමාණයක් රැස්කර ගැනීමට අවස්ථාව හිමිවීම ඊයේ(13) තරගය පරාජය වීමට හේතුව බව ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක චරිත් අසලංක පවසනවා.
ඊයේ තරගයෙන් පසු පැවති මාධ්‍ය හමුවේදී ඔහු මේ බව සඳහන් කළා.
කණ්ඩායමක් ලෙස තව ඉදිරියට යාමේදී විස්සයි විස්ස තරගවලදී තවත් වැඩි දියුණු කර ගත යුත්තේ පවර් ප්ලේ අවස්ථාවේ ක්‍රීඩා කරන විලාසය බව ඔහු එහිදී පැවසුවා.
වැඩිදුරටත් අදහස් දක්වමින් නායක චරිත් අසලංක පැවසුවේ,
“දිගින් දිගටම අපිට පවර් ප්ලේ එකට යන ලකුණු ප්‍රමාණය වැඩී. ඉතිං ඕවර්ස් 6න් පස්සේ අපේ හොඳ බෝලර්ස්ලා ගොඩක් බෝල් කරන්න ඉන්නවා. හැබැයි ඒගොල්ලොන්ටත් සමහර වේලාවට මැච් එක අනිත් පැත්තට හරවන්න බෑ. මොකද පවර් ප්ලේ එකේ කරලා තියෙන ඩැමේජ් එක වැඩී. “
වර්ෂාව හේතුවෙන් ඔවුන් සැලසුම් කළ ආකාරයට ක්‍රීඩා කිරීමට නොහැකි වූ බවත්, පිටියේ තිබූ තෙතමනය හේතුවෙන් ඔවුන් පන්දුවට පහර දීමේදී පන්දුව දෝලනය වූ බවත් ඔහු සඳහන් කළා.
“අපි ප්ලෑන් කලේ මීට වඩා ටර්න් වෙන පිච් එකක්. මම හිතන්නේ ප්ලෑන් කළ විදියට කරන්න බැරි වුණා වර්ෂාව නිසා. පිච් එක ගොඩක් වෙලා වහලා තිබ්බේ. ඉතිං මොයිශ්චර් එක තිබ්බා පිච් එකේ. අපි බැට් කරද්දී බෝලේ ටිකක් සීම් වුණා. මම හිතනවා ඉදිරියට තව ටිකක් ටර්න් වන පිච්වල අපි සෙල්ලම් කරයි කියලා. “
“තව දඟ පන්දු යවන්නෙක් ක්‍රීඩා කරන්න පුලුවන්නම් හොඳයි. හැබැයි අපි කණ්ඩායමක් විදියට සාකච්ඡා කළේ අපේ බැට්න් පොඩ්ඩක් අඩු වෙනවා එතකොට ඉතිං. අපි හිතුවා මීට වඩා දඟ කැවෙයි කියලා තණතිල්ල. හැබැයි එහෙම වුණානම් මමත් කමිඳුත් ගොඩක් පන්දු යවන්න තමයි හිටියේ. හැබැයි අවාසනාවකට වමත් පිතිකරුවෝ හිටියේ නෑ පන්දු යවන්න. ඒ නිසා කමිඳු බෝල් කලා ඕවර්ස් දෙකක්. මම හිතන්නේ හොඳට කළා. බලාපොරොත්තුවෙනවා ගොඩක්දුරට තව දඟ පන්දු යවන්නෙක් ක්‍රීඩා කරයි කියලා.”

