නොවැම්බර් 14 වනදා තිබෙන්නේ ඡන්දයක් නොවන බවත් එය මහා ශ්රමදානයක් බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.
ඔහු මේ බව පැවසුවේ පොළොන්නරුව ප්රදේශයේ ඊයේ (23) පැවති මැතිවරණ රැළිය අමතමින්.
මහ මැතිවරණය පැවැත්වෙන දිනය යනු ශ්රී ලංකා පාර්ලිමේන්තුව පිරිසිඳු කිරීමේ දිනය බව ජනාධිපතිවරයා තවදුරටත් පවසා සිටියා.
“නොවැම්බර් මාසේ 14 වනදා තියෙන්නේ ඡන්දයක් නෙමෙයි මහා ශ්රමදානයක්. පිරිසිඳු කිරීමේ ශ්රමදානයක්. මේක පිරිසිඳු කරන්න ඕනේ. නොවැම්බර් මාසේ 14 ශ්රී ලංකාවේ පාර්ලිමේන්තුව පිරිසිඳු කිරීමේ දිනේ. අපි දිනේ ප්රකාශ කළාම 60කට වඩා පිරිසක් ස්වෙච්ඡාවෙන්ම පිරිසිඳු වෙලා. ඉල්ලන්නේම නෑ. පොළොන්නරුවෙත් ඉන්නවා නේ. 89 ඉදලා පාර්ලිමේන්තුවේ හැබැයි 2024 නෑ. ස්වෙච්ඡාවෙන් පිරිසිඳු වෙලා. ඉතුරු වෙලා ඉන්නවා කට්ටියක් ඒ කට්ටිය පිරිසිඳු කිරීමේ වගකීම පොළොන්නරුවේ ජනතාවට පැවරෙනවා. භාර ගන්න ඕනේ.”

