වෘත්තීය සමිති කළ අනවරත අරගල දිනා ගත් රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩි කිරීමේ කැබිනට් තීන්දුව අපස්සට හැරවීම සඳහා වර්තමාන රජය වැටුප් විෂමතාවය දඩමීමා කර ගනිමින් සිටින බවට එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක රවී කුමුදේශ් මහතා චෝදනා කරනවා.
ඒ මහතා පැවසුවේ සැබෑ ලෙසම රජයට වැටුප් විශමතා ඉවත් කිරීමේ උවමනාවක් නොමැති බව ඉතා පැහැදිලිව දක්නට ලැබෙන බවයි.
වැටුප් විෂමතා ඉවත් කරමින් රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමට රජයට අවැසි වන්නේ නම් මේ වන විටත් ඔවුන් විසින් වැටුප් පිළිබඳව අධ්‍යයනය කිරීම සඳහා කොමිෂන් සභාවක් පිහිටවිය යුතු බවද රවී කුමුදේශ් මහතා පෙන්වා දුන්නා.
එසේ නොමැතිනම් අවසාන වශයෙන් වැටුප් පිළිබඳව අධ්‍යයනයක් කළ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, රජය විසින් පත්කළ වැටුප් කොමිෂන් සභාවේ වාර්තාව හෝ එහි නිර්දේශ පිළිගන්නා බවට වර්තමාන රජය එකඟ විය යුතු බවයි ඔහු අවධාරණය කළේ.
අවසන් වැටුප කොමිෂන් වාර්තාවට අනුව ජාතික වැටුප් ප්‍රතිපත්තියක් සැකසීම යෝජනා කර ඇති අතර ඒ සඳහා ශ්‍රී ලංකා සුදුසුකම් රාමුව පදනම වශයෙන් ගත යුතු බවද ඔහු පෙන්වා දුන්නා.
