නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ (ගෑස් සිලින්ඩරය) ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් සඳහා රවී කරුණානායක මහතාගේ නම ගැසට් කර තිබේ.
මැතිවරණ කොමිෂන් සභාව විසින් මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ එම පක්ෂයේ ලේකම් ශ්‍යාමිලා පෙරේරා මහත්මිය විසින් ලිඛිතව කළ දැනුම් දීමක් අනුවය.
කෙසේවෙතත්, එම මන්ත්‍රීධූරය සඳහා රවී කරුණානායකගේ නම මැතිවරණ කොමිසමට යවා ඇත්තේ නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ පක්ෂ වල කිසිදු අනුමැතියකින් තොරව, අන්නෝමතික ආකාරයකට බව එම පක්ෂ නායක, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සදහන් කරයි.
ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර දෙක සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට එම පෙරමුණේ සියලු පක්ෂ හෙට (19) දින පෙරවරුවේ කොළඹදී රැස්වී තීරණයක් ගැනීමට නියමිතව සිටි බවත් එම තීරණය ගැනීමට පෙර පක්ෂයේ ලේකම්වරිය අත්තනෝමතිකව ක්‍රියා කර තිබෙන බවද හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සදහන් කරයි.
එක්සත් ජාතික පක්ෂ සාමාජිකයෙක් වන රවී කරුණානායකට පක්ෂයේ සාමූහික තීරණයකින් තොරව කටයුතු කිරීමට හැකියාවක් නොමැති බවත් සියලු පක්ෂවල නියෝජිතයන් රැස්වී එම මන්ත්‍රී ධුර ගැන තීරණයක් ගැනීමට නියමිතව තිබියදී මෙලෙස අත්තනෝමතිකව කටයුතු කිරීම අනුමත කළ නොහැකි බවද හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සදහන් කරයි.
කෙසේ වෙනතත් අදාළ මන්ත්‍රීධුරය සම්බන්ධයෙන් රවී කරුණානායක මහතා පත් කිරීමට ගෙන ඇති තීරණය සම්බන්ධව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හෝ නව ප්රජාතන්ත්රවාදී පෙරමුණ නියෝජනය කළ කිසිවෙක් නොදන්නා බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා පවසයි.
ඔහු පැවසුවේ මේ සම්බන්ධව අද දිනයේදී පක්ෂ නියෝජිතයින් සමග සාකච්ඡා කර අවසන් තීන්දුවක් ගනු ඇති බවය.
