ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු ඉතිහාසය තුළ වසර 76කට පසු ආබාධ සහිත පුද්ගලයෙකුට පාර්ලිමේන්තු වරම් හිමි වීම අහඹු හෝ ආකාස්මික සිදුවීමක් නොවන බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුගත් වසන්තද සිල්වා මහතා පවසනවා.
අද (06) පාර්ලිමේන්තුව අමතමින් ඔහු සඳහන් කළේ එම කර්තව්‍ය වෙනුවෙන් වෙහෙසුණු දේශපාලන නායකත්වයක් සහ කණ්ඩායමක් සිටින බවයි.
තමා නියෝජනය කරන ලක්ෂ දාහතකට අධික මගේ ආබාධ සහිත ප්‍රජාව වෙනුවෙන් එම පාර්ශවයන්ට ස්තුති කිරීමට අවශ්‍ය බවද මන්ත්‍රීවරයා තවදුරටත් සඳහන් කළා.
ආබාධ සහිත ප්‍රජාව නියෝජනය කරන අයෙකු පාර්ලිමේන්තුවට පැමිණ සිදු කළ හැකි කුමක්ද යනුවෙන් පසුගිය කාල වකවානුව තුළ විවේචන එල්ල වුණත් එය තමාගේ ක්‍රියාවෙන් ඔප්පු කරන බව සුගත් වසන්තද සිල්වා මහතා මෙහිදී පවසා සිටියා.
ආබාධ සහිත ප්‍රජාව මුහුණ දෙන පොදු ප්‍රවාහනය, පොදු ආයතනවලට මෙන්ම රැකියාවකට ප්‍රවේශ වීමේදී ඇති අභියෝග සම්බන්ධයෙන් මන්ත්‍රීවරයා අවධානය යොමු කළා.
“මේ මගේ මංගල කතාවයි. එමෙන්ම මෙය ඓතිහාසික කතාවක්. ශ්‍රී ලංකා පාර්ලිමේන්තු ඉතිහාසයේ වසර 76 කට පසු ආබාධ සහිත පුද්ගලයකුට පාර්ලිමේන්තු වරම් හිමි වෙනවා. මෙය අහඹු ලෙස හෝ ඉහළින් පාත් වූ දෙයක් අනුව ලැබුණු වරමක් නොවේ.ඒ සඳහා වෙහෙසුණු කණ්ඩායමක් ඉන්නවා.
එම ප්‍රජාවට තීන්දු තීරණ ගැනීම සඳහා නියෝජනයක් අවශ්‍ය බවට තේරුම් ගත්තේ ජාතික ජන බලවේගය පමණයි. ආබාධ සහිත පුද්ගලයා යනු මේ ලෝකයට ලස්සන කැන්දාගෙන ආ දූත පිරිසක්.විචිත්රත්වය නිර්මාණය වන්නේ විවිධත්වය මතයි. ඔබ අතර ඇස් නොපෙනෙන මම නිසා මෙතන විවිධත්වයක් ඇතිවී තිබෙනවා.මානව සමාජයේ විචිත්රත්වය නිර්මාණය වී ඇත්තේ ඒ විචිත්රත්වය නිසයි.මේ ආබාධිත බව අප බලෙන් උරුම කරගත් දෙයක් නොවේ”
