අන්තර්ජාතික ක්‍රිකට් කාලසටහන්වල පවතින පැහැදිලි අසමානතා පිළිබඳව අවධානය යොමු කරන ලෙස ඇන්ජලෝ මැතිව්ස් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයෙන් ඉල්ලීමක් කර තිබේ.
ඔහු මෙම අභියාචනය සිදු කරමින් සඳහන් කර ඇත්තේ ශ්‍රී ලංකාව සඳහා ටෙස්ට් තරග දැඩි ලෙස අඩු වීම ටෙස්ට් ආකෘතියේ පැවැත්මට දැඩි තර්ජනයක් වී ඇති බවයි.
ඉදිරි කාලසටහනට අනුව ශ්‍රී ලංකාවට ලබා දී ඇත්තේ 2025 දී ටෙස්ට් තරඟ හතරක් සහ 2026 දී ටෙස්ට් තරඟ හයක් පමණි.
මෙම අවස්ථා අඩුවීම මගින් පෙන්නුම් කරන්නේ කෙටි, වඩා වාණිජමය වශයෙන් ලාභදායී ආකෘති සඳහා ටෙස්ට් ක්‍රිකට් පසෙක තබා ඇති බව ඇන්ජලෝ මැතිව්ස් පවසනවා.
ජනවාරි මාසයේදී ආරම්භවීමට නියමිත ඕස්ට්‍රේලියාවට එරෙහි ටෙස්ට් තරඟ දෙකකින් සමන්විත තරඟාවලියෙන් අනතුරුව ශ්‍රී ලංකාවට යළි ටෙස්ට් තරගාවලියක් ලැබෙන්නේ මාස 5කට පසුවය.
ඒ බංගලාදේශය සමගිනි.
එ
ඉන්පසුව, 2026 මැද භාගය වන තෙක් ශ්‍රී ලංකාවට ටෙස්ට් තරඟ නොමැති අතර 2026 දී ද ශ්‍රී ලංකාවට ඇත්තේ තරගමාලා තුනක් පමණි.
මැතිව්ස් පෙන්වා දෙන්නේ එය කණ්ඩායමට සහ ක්‍රීඩකයන්ගේ වර්ධනයට බාධාවක් බවයි.
37 වැනි වියේ පසුවන මැතිව්ස් කීර්තිමත් ක්‍රිකට් දිවියක අවසානයට පැමිණ සිටින නමුත් ටෙස්ට් තරග නොලැබීම හේතුවෙන් ටෙස්ට් ලකුණු 10,000 සීමාව පසුකළ තෙවැනි ශ්‍රී ලාංකිකයා වීමේ අවස්ථාවද අහිමිවීමේ අවදානමක් මතුව තිබේ.
“ක්‍රිකට් කියන්නේ රිද්මයක්. දිගු විවේකයන් ක්‍රීඩකයන්ගේ වෘත්තීය ජීවිතයට බලපාන සෑම දෙයක්ම කඩාකප්පල් කරනවා. ICCය සහ SLCය මේ පිළිබඳ සොයා බලා වඩාත් සාධාරණ කාලසටහනක් සකස් කරනු ඇතැයි මම බලාපොරොත්තු වෙනවා” යනුවෙන් ඔහු ප්‍රකාශ කර තිබේ.
