2010 වසරේදී බන්ධනාගාර බස් රථයක ගමන් කරමින් සිටියදී ඇතුළත තහඩුව ඉවත්කර පලාගොස් සිට වසර 15කට පසු අත්අඩංගුවට ගත් උපේක චන්ද්‍රගුප්ත හෙවත් ගඩාෆි නමැති සැකකරු සම්බන්ධයෙන් මේ වන විට තොරතුරු රැසක් අනාවරණය වී තිබෙනවා.
සැකකරු විදෙස්ගතව සිට මෙරටට පැමිණ පිළියන්දල මාම්පේ ප්‍රදේශයේ නිවසක සැඟව සිටියදීයි පසුගියදා අත්අඩංගුවට ගෙන තිබුණේ.
එහිදී බන්ධනාගාර බස් රථයෙන් පලාගිය අයුරු සැකකරු විසින් පොලීසියට පාපොච්චාරණය ද කර තිබෙනවා.
“බස් එකේ එනගමන් සර් මට හිතුනා යන්න ඕන කියලා. අම්මත් අසනීපෙන් හිටියේ. මට එකපාරටම පෙනුණා සර් තහඩුවේ ඇණයක් ගැලවිලා තියෙනවා. මම නිකමට ඇද්දා සර්. ඇදපු පාර ගැලවුණා දිරලා තිබුණේ. මම ඒක කැඩුවා කඩපු පාර මට එළියක් පෙනුණා. ඊට පස්සේ මම ගියා සර්.”
එමෙන්ම, ඔහු විසින් සිදුකරන ලද තවත් අපරාධ රැසක් සම්බන්ධයෙන් ද මේ වන විට තොරතුරු අනාවරණය කරගෙන තිබෙනවා.
2010 වසරේ අගෝස්තු මාසයේ දිනක කැස්බෑව මාකන්දන ප්‍රදේශයේ ග්‍රාමීය බැංකුවක් කොල්ලකෑමට පැමිණි සැකකරුවන් අතර ප්‍රධාන සැකකරු ලෙස චෝදනා එල්ල වී ඇත්තේ මොහුටයි.
සැකකරු වසර 10ක් පමණ විදෙස්ගතව සැඟව සිට ඇති අතර වීසා කල් ඉකුත්වීමත් සමඟ මාස 6ක පමණ කාලයක් අබුඩාබියේදී සිර දඬුවමටද ලක්ව සිට තිබේ.
පසුව සැකකරු යළි මෙරටට පැමිණ ඇත්තේ 2021 වසරේදීය.
එලෙස පැමිණි සැකකරු විවිධ ප්‍රදේශවල සැඟව සිට ඇත.
එලෙස පිළියන්දල මාම්පේ ප්‍රදේශයේ නිවසක සැකකරු සැඟව සිටින බවට පිලියන්දල පොලීසියට ලැබුණු තොරතුරකට අනුව සිදුකළ වැටලීමේදී ගඩාෆි අත්අඩංගුවට ගැනුණි.
ඒ පලාගොස් වසර 15කට පසුවය.
සැකකරු බැංකු කොල්ලයට සැකපිට අත්අඩංගුවට ගැනීමට පෙර මත්ද්‍රව්‍ය චෝදනා කිහිපයකට කළුතර බන්ධනාගාරයේද රඳවා සිට ඇති අතර එහි සිටි තවත් සැකකරුවන් සිව්දෙනෙකු සමග එක්ව බන්ධනාගාරයේ සිරමැදිරියේ පොළොව හාරා පලායාමට ද තැත්කර තිබේ.
සැකකරුට එරෙහිව පානදුර මහාධිකරණයේ 2017 වසරේ ගොනුකළ නඩුවකට අදාළව ඔහු නොමැතිව සිදුකළ විභාගයකින් පසු බරපතළ වැඩ සහිතව වසර 10ක සිර දඬුවමක් ලබාදී තිබූ අතර එම නියෝගය සැකකරු අත්අඩංගුවට ගත් දින සිට ක්‍රියාත්මක කිරීමට නියම කර ඇත.
ඒ අනුව එම තින්දුවට අදාළව සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
