පාර්ලිමේන්තුවේ භෝජනාගාරයෙන් මන්ත්රීවරුන්ට ලබාදෙන ආහාරපාන නිර්දේශ කර ඇති මිල ගණන්වලට නොවටිනා හෙයින් ආහාර වල මිල ගණන් අඩු කළ යුතු බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී මුජිබර් රහුමාන් මහතා පවසයි.
පෞද්ගලික රූපවාහිනී නාලිකාවක වැඩසටහනකට එක්වෙමින් රහුමාන් මන්ත්රීවරයා පැවසුවේ ඔහුගේ ගණන් බැලීම අනුව නම් ආහාරවල මිල ගණන් ඉහළ දැමීම සාධාරන නොවන බවයි.
”දැනට පාර්ලිමේන්තුවේ මන්ත්රී කෙනෙක් දවල් කෑම කනවා නම් රුපියල් 300 ක් අය කරනවා, දැන් ආණ්ඩුව යෝජනා කර තිබෙනවා 1200ක් වගේ ප්රමාණයක් දාන්න. මගේ පුද්ගලික හැගීම නම් ඒ පාර්ලිමේන්තු මන්ත්රීවරුන්ට තිබෙන බුෆේ එක රුපියල් 1200ක් වටින්නේ නැහැ. මගේ ගණන් අනුව නම් ඕක රුපියල් 700ක් 800ක් වගේ ප්රමාණයකට ඒකක වටිනවා” යනුවෙන් ඔහු කියාසිටියි.
පාර්ලිමේන්තු මන්ත්රීවරුන්ගෙන් ආහාර සඳහා දෛනිකව අයකළ රුපියල් 450ක මුදල රුපියල් 2000ක් දක්වා රුපියල් 1,550කින් ඉහළ දැමීමට පසුගියදා රැස්වුණු පාර්ලිමේන්තු ගෘහකාරක සභාවේදී තීරණය කළේය.
මේ අනුව, මෙතෙක් උදෑසන ආහාරය සඳහා අයකළ රුපියල් 100 ක ගාස්තුව රුපියල් 600ය දක්වා ද රුපියල් 300ක් ව පැවති දිවා ආහාරය සඳහා ගාස්තුව රුපියල් 1,200 දක්වා ද ඉහළ දමා ඇති අතර තේ පැන් සඳහා රුපියල් 50ක් ව අය කළ ගාස්තුව ඉහළ දමා ඇත්තේ, රුපියල් 200 දක්වායි.
කෙසේවෙතත් මේ වන විට පිටත ආපන ශාලා මිලගණන් හා සසඳන විට ඉතාමත් සුළු මුදලකට මන්ත්රීවරුන් වෙනුවෙන් ලබා දෙන ආහාරපාන පිරිවැය ආවරණය කරන මිලක් දක්වා ඉහළ දැමීමටයි කටයුතු කර ඇත්තේ.
