වාර්ෂික ආදායම රුපියල් ලක්ෂ 18ට අඩු පුද්ගලයින් සඳහා තැන්පතු මත පොලිය හෝ වට්ටම් සඳහා අයකරනු ලබන අත්තිකාරම් ආදායම් බදු සහනය ඉල්ලා සිටිය හැකි බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසනවා.
එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ, අදාළ බදු සහනය ඉල්ලා සිටීමට අපේක්ෂා කරනු ලබන පුද්ගලයින් බැංකු හෝ මූල්‍ය ආයතන වෙත ඒ සඳහා ස්වයං ප්‍රකාශයක් ඉදිරිපත් කළ යුතු බවයි.
ඕනෑම තැන්පතු හිමියෙකුට ගෙවිය යුතු පොලිය හෝ වට්ටම් ගෙවීම මත 10%ක අනුප්‍රමාණයකින් අත්තිකාරම් ආදායම් බදු අඩු කිරීමක් අද (01) දිනයේ සිට ක්‍රියාත්මක කිරීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව බැංකු සහ මූල්‍ය ආයතන වෙත දැනුම් දී තිබෙනවා.
ඒ අනුව, අද දිනයේ සිට ඕනෑම තැනැත්තෙකුට ගෙවිය යුතු මෙරට මූලාශ්‍රයක් සහිත පොලිය, වට්ටම් සහ ඉස්ලාමීය මූල්‍ය ගනුදෙනු මඟින් ලැබූ ආදායම් ගෙවීම් සඳහා රඳවා ගැනීමේ අනුයෝජිතයෙකු වශයෙන් කටයුතු කරන ඕනෑම බැංකුවක් හෝ මූල්‍ය ආයතනයක් සියයට 10ක අනුප්‍රමාණයකින් අත්තිකාරම් ආදායම් බද්ද අඩු කළ යුතු වනවා.
කෙසේවෙතත් අදාළ චක්‍රලේඛය මඟින් පොලී ආදායම 10%ක අනුපාතයකින් අත්තිකාරම් අදායම් බද්දට යටත් වන නමුත් තක්සේරු වර්ෂය සඳහා ආදායම රුපියල් ලක්ෂ 18 නොඉක්මවන පුද්ගලයින් සඳහා බදු සහන ඉල්ලා සිටිය හැකි බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පෙන්වා දෙනවා.
ඒ අනුව අදාළ තක්සේරු වර්ෂය සඳහා සියලුම ආදායම් මූලාශ්‍රවලින් තක්සේරු කළ හැකි ආදායම පිළිබඳව ස්වයං ප්‍රකාශයක් බැංකු හෝ මූල්‍ය ආයතන වෙත ඉදිරිපත් කර එම බදු සහනය ඉල්ලා සිටිය හැකි බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පෙන්වා දෙනවා.
