නීතිය, විධානය හා ආධිපත්‍යය තහවුරු කිරීම සඳහා ශ්‍රී ලංකා පොලීසියට සුබවාදී පරිවර්තනයක අත්‍යවශ්‍ය බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
පුරවැසියන් නීතියේ විධානයේ ආධිපත්‍යය සුරැකීම පිළිබඳව ශ්‍රී ලංකා පොලීසිය කෙරෙහි විශ්වාසය තබා ඇති බවත් එය සුරැකීම පොලිස් දෙපාර්තමේන්තුවේ වගකීමක් බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම අදහස් පළ කළේ, කළුතර කටුකුරුන්ද විශේෂ බලකා පුහුණු කඳවුරේ ඊයේ (07) පැවති 82 වන මූලික පුහුණු පාඨමාලාව හැදෑරූවන්ගේ විසිර යාමේ උත්සවයට එක් වෙමිනි.
තම වෘත්තියට කොතරම් සාධාරණයක් ඉටු කරනවාද, ගෞරව කරනවාද යන්න කෙනෙකුගේ වෘත්තීය ජීවිතය තුළින් නිරූපණය වන බවත්, එම වෘත්තීයභාවය සාක්ෂාත් කර ගැනීමෙන් මෙරටට අවශ්‍ය පරිවර්තනීය වෙනස ඇති කිරීමට දායක වන ලෙසත් ජනාධිපතිවරයා ආධුනික පොලිස් නිලධාරීන්ට ඇරයුම් කළේය.
බොහෝ ක්ෂේත්‍ර බිඳවැටුණු මොහොතක රට පරිවර්තනීය යුගයකට ගෙන යාමට පුරවැසියා දේශපාලන අධිකාරිය වෙනස් කිරීමට කටයුතු කළ බව පෙන්වා දුන් ජනාධිපතිවරයා දේශපාලන අධිකාරිය පර්වර්තනය කළ පමණින් රටක් සාර්ථක නොවන බවත් සියලු ක්ෂේත්රවලම සුබවාදී පරිවර්තනයක අවශ්‍යතාවත් පෙන්වා දුන්නේය.
මහජන අපේක්ෂාවේ භාරය, නවක පොලිස් නිලධාරින්ට පැවරෙන බවද එය ආරක්ෂා කරමින් සංවිධානාත්මක අපරාධවලට, මත්ද්‍රව්‍යවලට මේ රට ගොදුරක් වීමට ඉඩ නොතබන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙහිදී අවධාරණය කළේය.
තරුණ පරම්පරාව මාතෘ භූමියේ වගකීම සිය දෙවුර මත දරා තමාගේ අනාගතයත් රටේ අනාගතයක් සුබවාදී දිශානතියකට ගෙන යෑමට උත්සුක විය යුතු බවද, මෙලෙස, අද දින ශ්‍රී ලංකා පොලිස් නිත්‍ය සේවයට එක්වීම ශක්තිමත් පියවරක් ලෙස සියල්ලෝම සිහි තබා ගත යුතු බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
හදිසි ආපදා තත්ත්වයක් යටතේ පුරවැසියන් වෙනුවෙන් විශේෂ කාර්ය බලකාය සිදු කර තිබෙන සේවය ඉතා ප්‍රශංසනීය බව ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
මූලික පුහුණුව සාර්ථකව නිම කරන ලද ආධුනික උප පොලිස් පරීක්ෂකවරු 118ක් ආධුනික පොලිස් කොස්තාපල් 231ක් මෙම පෙළපාලියේදී විසිර ගිය අතර පුහුණු පාඨමාලාවේදි විශේෂ දක්ෂතා දක්වන ලද නිලධාරීන්ට සහතිකපත්‍ර සහ සම්මාන පිරිනැමීම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතින් සිදු කෙරිණි.
