Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

කුරුණෑගල පිපිරීම ගැන තොරතුරු රැසක් එළියට! තවමත් සිවු දෙනෙක් රෝහලේ!

2 years ago

කුරුණෑගල වැහැර පවත්වාගෙන යන ගෑස් හා ඉන්ධන පිරවුම්හලේ පිහිටි ගෑස් අඩංගු ටැංකියක් ඊයේ (7) රාත්‍රියේ ගිනිගැනීමකින් සිදුවූ පුපුරා යාමකින් පුද්ගලයන් සිවු දෙනෙකු එම ස්ථානයේදීම මරණයට පත්ව තවත් සිවුදෙනෙකු තුවාල ලබා ඇති බව කුරුණෑගල මූලස්ථාන පොලීසිය පවසයි.

ලොරියකින් රැගෙන ආ හිස් ගෑස් සිලින්ඩර තොගයකට ගෑස් පිරවීමට ගිය අවස්ථාවේදී පෙරේදා රාත්‍රි 11. 15 ට පමණ මෙම ගින්න හටගෙන ඇති බව පැවසේ.

ගෑස් සිලින්ඩරවලට ගෑස් පුරවමින් තිබියදී ද්‍රව ගෑස් ලීටර් 6000 ක් අඩංගු විශාල ප්‍රමාණයේ ටැංකියේ එක්වරම ඇතිවූ ගිනි දැල්ලක් ක්ෂණයකින් පැතිර ගොස් විශාල ගින්නක් බවට පරිවර්තනය වී ඇති බව පොලීසිය ප්‍රකාශ කළේය.

එම අවස්ථාවේදී සිලින්ඩර ලොරිය තුළම තබාගෙන ගෑස් පිරවීම සිදුකර ඇති බවද වාර්තා වේ.

එසේ හටගත් ගින්න නිවා දැමීමට උත්සාහ ගත් සේවකයින් ගෑස් සිලින්ඩර පුපුරා යාමේදී ඊට ගොදුරුව මරණයට පත්වන්නට ඇති බව සැක කෙරේ.

කුරුණෑගල මහා නගර සභාවට අයත් ගිනි නිවීම් රථ සියල්ලම යොදා ගනිමින් සියළු ක්‍රමවේද භාවිතා කරමින් ගින්න මැඩලීමට උපරිම උත්සාහ දරා ඇතත් එය අසීරු කරුණක් වී ඇත්තේ ගින්න ඒවනවිටද ඉතා දැඩිව පැතිර ගොස් තිබූ නිසාය.

ගින්න මැඩලීමට වතුර බවුසර 15 ක් පමණ යොදා ගැනීමට ගිනි නිවීම් ඒකකයට සිදුව තිබුණි.

ගින්න පාලනය කිරීම සඳහා සහාය වීමට වැහැර යුද හමුදා කඳවුරේ හමුදා සාමාජිකයින්ද කැඳවා තිබුණි.

ගින්න පාලනය කිරීමට පැය තුනකට ආසන්න කාලයක් ගතවී ඇති බවයි වාර්තා වන්නේ.

මරණයට පත්වූ සිවු දෙනාගේම සිරුරු වලට දැඩි හානි සිදුව පිළිස්සීමට ලක්ව හඳුනාගත නොහැකි තත්ත්වයක පවතින බැවින් මරණයට පත්වූවන් හඳුනාගැනීම සඳහා ඩීඑන්ඒ පරීක්ෂණයකට යෑමට සිදුවන බව පොලීසිය සඳහන් කළේය.

තුවාල ලද පුද්ගලයන් සිවු දෙනා ප්‍රතිකාර සඳහා කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ. ඔවුන්ගේ තත්ත්වය බරපතළ නොවන බව කියයි.

මෙම අනතුර සම්බන්ධයෙන් කුරුණෑගල පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.