තමාට දිනකට ලියුම් 1000ක් පමණ ලැබෙන බවත් ඉන් 900ක පමණ ඇතුළත්ව ඇත්තේ ගම තුළම විසඳා ගතහැකි ගැටලු බවත් අගමැතිනි හරිනි අමරසූරිය පවසනවා.
කොළොන්නාව පුල්මන් ග්‍රෑන්ඩ් උත්සව ශාලාවේ පැවති ජන හමුවකට එකවෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළාය.
ප්‍රාදේශීය සභා සහ නගර සභා නිසි ලෙස ගොඩනඟා ගන්නේ නම් එවැනි ගැටලුවලට අවශ්‍ය පිළියම් යෙදිය හැකි බවද ඇය පැවසුවාය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අගමැතිනි හරිනි අමරසූරිය,
“අපි පටන් ගත්ත විතරයි. ඔබ විශ්වාස කරන්න මට දිනකට ලැබෙනවා ලියුම් 1000 ක් විතර. ඒ ලියුම් දාහෙන් 900 ක් ගමේ විසඳන්න පුළුවන් ප්‍රශ්න. නමුත් ඒක විසදිලා නැති නිසා තමයි අපි ගාවට එන්නේ. දැන් මම ඒවට කාලය වෙන කරන කොට මගෙන් විය යුතු දේ කරන්න බැරි වෙනවා . මම ඒක දිහා බැලුවේ නැත්නම් ඒ කියන්නේ ප්‍රශ්න නමසියක් තියෙනවා විසඳිලා නෑ . අන්න ඒ කොටස බේරගන්න පුළුවන් අපිට හරියට අපේ ප්‍රාදේශීය සභා නගර සභා ටික හදාගත්තා නම්. ඉතින් අන්න ඒ ටික වෙනුවෙනුත් මේක අතිශයින්ම වැදගත් වෙනවා. එතකොට අර හරියට උඩ ඉඳන් යටට එකම දැක්මකින් යන්න පුළුවන් විදියේ ව්‍යුහයක් අපිට හදාගන්න පුළුවන්.
ඉතින් මේ සියලුම හේතූන් නිසා තමයි මේ මැයි 06 වෙනිදා මේ මැතිවරණය අතිශයින්ම වැදගත් වෙන්නේ මේක විශාල පරිවර්තනයක් ඔබ අපෙන් බලාපොරොත්තු වුන මේ පරිවර්තනය කොච්චර සංකීර්ණද කියන එක. මං හිතන්නේ අපිට තේරෙන්නෙත් දැන්. ඔබ අපි සියලු දෙනාටම කොච්චර දේවල් කරන්න තියෙනවද කොච්චර දේවල් වෙනස් කරන්න තියෙනවද කියලා. හැබැයි මේ ගමන අපි යනවා.”
