Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ආන්දෝලනයකට තුඩු දුන් සිය කතාව සම්බන්ධයෙන් ජනපතිගෙන් පැහැදිලි කිරීමක්

2 years ago

පළාත් පාලන ආයතන සඳහා අරමුදල් වෙන් කිරීම සම්බන්ධයෙන් තමා මෑතක දී කළ ප්‍රකාශය විපක්ෂය විසින් වැරදි ලෙස අර්ථකථනය කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

තමා එවැන්නක් අදහස් නොකළ අතර සොරකම් සම්බන්ධයෙන් චෝදනා ඇති දේශපාලන පක්ෂ පිළිබඳව පමණක් දේශපාලන වේදිකාවේ අදහස් දැක්වූ බවයි ජනාධිපතිවරයා සඳහන් කළේ.

ඔහු මෙම අදහස් දක්වා සිටියේ නුවරඑළිය ප්‍රදේශයේ ඊයේ(19) පැවති ජන හමුවකට එක්වෙමින්.

තම ස්ථාවරය පැහැදිලි කරමින් ජනාධිපතිවරයා පැවසුවේ මධ්‍යම රජය විසින් ප්‍රවේශමෙන් එකතු කරන ලද අරමුදල් දූෂිත පළාත් පාලන ආයතන සඳහා වෙන් නොකරන බව පමණක් තමා ප්‍රකාශ කළ බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ජනපතිවරයා මෙලෙස සඳහන් කළේය.

“මම කියන්නේ අපි දිනන්නේ නැති සභාවලට සල්ලි දෙන්නේ නැහැ කියලා නෙමේ. මධ්‍යම ආණ්ඩුව හොරකම් නොකර, නාස්ති නොකර භාණ්ඩාගාරයට සල්ලි එකතු කරනවා. ලේසි නෑ හොඳේ. හොරකම නාස්තිය නතර කරලා, දේශීය ආදයම් දෙපාර්තමේන්තුව සතිපතා රැස්වෙලා, රේගුව සතිපතා අධ්‍යනය කරමින්, මුදල් ටික භාණ්ඩාගාරයට ගේනවා, හරි පරිස්සම් කරලා සල්ලි ටික ගේනවා, ගෙනාපුවම, නුවරඑළිය නගර සභාවේ ඉන්නවා හොරු කණ්ඩායමක්, අපි අරහේ සල්ලි එකතු කරලා මෙහෙට දෙන්න ඕන ද ? මම කියන්නේ ඕක.

මධ්‍යම ආණ්ඩුව හොරකම් කරන්නේ නැතිනම්, නගර සභා ප්‍රාදේශීය සභා හොරකම් නොකර ඉන්න ඕන, වෙන ඇතා අය අතට ගියොත් මොකද වෙන්නේ, මධ්‍යම ආණ්ඩුව හොරකම් කරන්නේ නැහැ, නාස්ති කරන්නේ නැහැ, ප්‍රාදේශීය සභා හොරකම් කරනවා, නාස්ති කරනවා, මධ්‍යම ආණ්ඩුව වැඩ කරනවා, ප්‍රාදේශීය සභාව කකුලෙන් අදිනවා.

මධ්‍යම ආණ්ඩුව එකතු කරන සල්ලි, දැන දැන හොරකම් කරන්න දෙන්න ඕන ද ? අපි කියන්නේ හොරකම් කරන්න දෙන්නේ නැහැ කියලා,

එයාලා කියනවා එයාලා ආවොත් දෙන්නේ නැහැලු. හරි තමයි. හොර හිත තියෙන්නේ, හොර හිත නැත්නම් ඒක එහෙම තේරුම් ගනීවිද ? එයාලට කියන්න තිබ්බේ එහෙම නෙමේ අපි හොරකම් කරන්නෙත් නෑ අපිට දෙන්න කියලනේ. මතක තියාගන්න, අපිට ඕන මධ්‍යම ආණ්ඩුව වැඩ කරනවා, ප්‍රාදේශීය සභාවත් වැඩ කරනවා. මධ්‍යම ආණ්ඩුව හොරකම් කරන්නේ නැහැ, ප්‍රාදේශීය සභාවත් හොරකම් කරන්නේ නැහැ. මධ්‍යම ආණ්ඩුව නාස්ති කරන්නේ නැහැ, ප්‍රාදේශීය සභාවත් නාස්ති කරන්නේ නැහැ. මධ්‍යම ආණ්ඩුව ජනතාව ගැන හිතනවා, ප්‍රාදේශීය සභාවත් ජනතාව ගැන හිතනවා. එහෙමනම් දෙන්න තියෙන්නේ කාටද ? ජාතික ජන බලවේගයට. ඔච්චරයි.”