පාකිස්තාන සුපර් ලීගයේ අවසන් මහා තරගය ජය ගනිමින් එහි ශූරතාව දිනා ගැනීමට Lahore Qalandars කණ්ඩායම ඊයේ(25) සමත් වුණා.
පළමුව පන්දුවට පහර දුන් Quetta Gladiators කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ දී කඩුලු 09ක් දැවී ලකුණු 201ක් ලබා ගත්තා.
Gladiators ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වූ හසාන් නවාස් ලකුණු 76ක් ලබා ගැනීමට සමත් වුණා.
ලාහෝර් කණ්ඩායම වෙනුවෙන් ශහීන් ෂා අෆ්රිඩි කඩුලු තුනක් බිඳ හෙලූ අතර සල්මන් මිස්රා හා හැරිස් රවුෆ් කඩුලු දෙක බැගින් බිඳ හෙලීය.
ජයග්රහණය සඳහා ලකුණු 202ක ඉලක්කයක් හඹා ගිය ලාහෝර් කණ්ඩායම ජයග්රහණය කරා රැගෙන යමින් කුසලානය තම කණ්ඩායමට දිනා දීමට කුසල් ජනිත් පෙරේරා සමත් වුණා.
ලාහෝර් කණ්ඩායම කඩුලු 4ක් පමණක් දැවී ජයග්රාහී ඉලක්කය පසුකර යෑමට සමත් වුණා.
වේගවත් පිතිහරඹයක නිරත වුණු කුසල් නොදැවී ලකුණු 62ක් රැස් කළේ පන්දු 31කට පමණක් මුහුණදෙමින්.
ඊට හයේ පහර හතරක් සහ හතරේ පහර පහක් ඇතුළත් වුණා.
ඉනිමේ අවසන් පන්දුවාර කිහිපයේදී වේගවත් ඉනිමක් දියත් කළ සිකන්දර් රාසා පන්දු 7කින් නොදැවී ලකුණු 22ක් රැස් කළා.
අවසන් තරගයේ තරගයේ වීරයා සම්මානය කුසල් ජනිත් පෙරේරට හිමි වූ අතර තරගාවලියේ වීරයා ලෙස හසාන් නවාස් සම්මානයට පාත්ර විය.
