ඇල්ල පොලිස් වසමේ ඇල්ල – වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ තංගල්ල ප්‍රදේශයේ සිට විනෝද චාරිකාවක් පැමිණි පිරිසක් රැගත් බස් රථයක් එම මාර්ගයේ 24 වන කිලෝමීටර් කණුව ආසන්නයේදී ඇල්ල වැල්ලවාය මාර්ගයේ 23 සහ 24 කිලෝමීටර් කණුව අසල ප්‍රදේශයේදී ඊයේ (04) රාත්‍රී 9ට පමණ අනතුර සිදුවී ඇත.
රියදුරු සහ රිය සහායක සමග බස් රථයේ 34 දෙනෙකු ගමන් කර තිබූ අතර ප්‍රපාතයකට පෙරළී සිදුවූ අනතුරකින් මේ වනවිට මියගොස් ඇති සංඛ්‍යාව 15 දෙනෙකු බව පොලීසිය පවසයි.
අනතුරින් පසුව ඉතා යුහුසුළුව ක්‍රියාත්මක වූ ප්‍රදේශවාසීන්, ආරක්ෂක අංශ මෙන්ම මුදාගැනීමේ කණ්ඩායම් තුවාලකරුවන් රෝහල්ගත කිරීමට පියවර ගෙන තිබුණි.
මේ වනවිට පිරිමි පුද්ගලයින් 6ක්, කාන්තාවන් 5ක්, පිරිමි දරුවන් 3ක් සහ දැරියන් දෙදෙනෙකු ඇතුළු 18 දෙනෙකු බදුල්ල ශික්ෂණ රෝහල, බණ්ඩාරවෙල සහ දියතලාව යන රෝහල්වල ප්‍රතිකාර ලබමින් පසුවෙයි.
මියගිය අය අතර පිරිමි පුද්ගලයින් 6ක් සහ කාන්තාවන් 9ක් සිටින බවත් ඔවුන්ගේ මෘතශරීර මේ වනවිට දියතලාව, බදුල්ල සහ බණ්ඩාරවෙල රෝහල්වල තැන්පත් කර තිබෙන බවත් පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේය.
මේ අතර බස් රථයේ අධික වේගය හේතුවෙන් එය පාලනය කරගැනීමට නොහැකිව මෙම අනතුර සිදුවී ඇති බවට සිදුකළ මූලික විමර්ශනවලදී තොරතුරු අනාවරණය වී ඇති බව පොලීසිය සඳහන් කළේය.
කෙසේවෙතත් අනතුර සිදුවීමට පෙර බස් රථයේ රියදුරු විසින් තිරිංගවල යම්කිසි දෝෂයක් පවතින බවට ප්‍රකාශ කර ඇති බවට අනතුරින් දිවි බේරාගත් පුද්ගලයෙකු මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබේ.
“ඇල්ල හරියේ වංගුවක් ගාවදී කිව්වා බ්රේක් නැහැ කියලා. මම බොනට් එක උඩ වාඩිවෙලා කතා කර කර හිටියා. ඩ්‍රයිවර් එහෙම කිව්ව එකට කොන්දොස්තර හිනා වුණා. එහා පැත්තේ ආසනයේ එක්කෙනෙක් හිටියා. එයත් හිනා වුණා…බොරු කියන්න එපා කියලා. ඊළඟ වංගුවේදී තමයි කිව්වේ ඇත්තම තමයි බ්රේක් නැහැ කියලා. එකපාර කපන්න ගත්තා. ඊට පස්සේ තමයි දන්නේ ඇත්තටම බ්රේක් නැහැ කියලා. එතනදි වාහනයක් ආවා..ඒකේ වැදිලා තමයි බස් එක පල්ලමට ගියේ. මම නම් ඒ වේලාවේ හිතුවා ඉවරයි කියලා.”
“බස් එක පහළට පෙරළිලා පොඩි දරුවෙක් අඬන සද්දයට තමයි මම නැඟිට්ටේ. ඊට පස්සේ ඒ ළමයවත් අරගෙන මම උඩට එන්න හැදුවා. පස්සේ කැහැගැහුවා..ඊට පස්සේ තමයි කට්ටිය ආවේ.”
