Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

සූර් පිටින් ඊශ්‍රායලයේදී පිස්සු නැටූ ලාංකිකයා නැවත එවයි! තානාපතිගෙන් විශේෂ ඉල්ලීමක්!

1 year ago

සමාජ මාධ්‍යයන්හි පසුගිය දිනවල කතාබහට ලක්වූ ඊශ්‍රායලයේ ඉදිකිරීම් සේවය සඳහා ගොස් රැකියාවට නොගොස් විවිධ ස්ථානවලවල කාලය ගත කළ ශ්‍රී ලාංකිකයා මෙරට බලා පිටත් කිරීමට කටයුතු කළ බව එරට සිටින ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර පවසනවා.

ඔහුගේ මානසික හා ශාරීරික තත්ත්වය යහපත් නොවන බැවින් ඔහුව රැගෙන ඒමට තානාපති කාර්යාලයේ කම්කරු සුබසාධන අංශයේ නිලධාරිනියක් ද ඔහු සමඟ කොළඹ බලා පිටත්වූ බව ද හෙතෙම සඳහන් කළා.

ඒ අනුව ඊයේ උදෑසන (19) ටෙල්අවිව් ගුවන් තොටුපළෙන් ශ්‍රී ලංකාව බලා පිටත්වීමට එහි පැමිණි බවයි ඔහු කියාසිටියේ.

පසුගිය දින කීපය තුළ ඔහු රැකබලා ගත් බොහෝ දෙනෙකු සිටින අතර ඒ සියලු දෙනාට තානාපති කාර්යාලය වෙනුවෙන් ස්තුතිය පිරිනමන බව ද තානාපතිවරයා සඳහන් කළා.

ඔහුට අමතරව ඊශ්‍රායලයට පැමිණ මත්ද්‍රව්‍ය භාවිතා කිරීමෙන් පිඩාවට පත්වූ තවත් ශ්‍රී ලාංකිකයෙකු කොළඹට එවා තිබෙන අතර ඔහුගේ ගුවන් ගමන් බලපත්‍රය නැතිවී තිබු බැවින් තානාපති කාර්යාලය ඔහුට අය කිරීමකින් තොරව තාවකාලික ගුවන් ගමන් බලපත්‍රයක් ලබා දීමට කටයුතු කළ බවයි තානාපතිවරයා කියාසිටියේ.

මේ දෙදෙනා සමඟ මෙම වසර තුළ මත්පැන් හා මත්ද්‍රව්‍ය භාවිතය හේතුවෙන් අර්බුදයට මුහුණ පා සිටි 07 දෙනෙකු ශ්‍රී ලංකාවට එවා තිබෙනවා.

ඒ පිරිසට කාන්තාවක් ද අයත්.

ඔවුන් 07 දෙනාට අමතරව මත්පැන් භාවිතා කොට නාන කාමරයේ ලිස්සා වැටීමෙන් සදාකාලික ආබාධිත තත්ත්වයට පත්වූ පුද්ගලයෙකු ද සති දෙකකට පෙර ශ්‍රී ලංකාවට පිටත්කර එවූ බවයි තානාපතිවරයා පෙන්වා දුන්නේ.

මේ අතර පසුගිය කාලයේ ඊශ්‍රායලයේ දී දිවි නසාගත් ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකු ද මත්ද්‍රව්‍ය භාවිතයට හුරුවී සිටි බව වාර්තා වූ බව හෙතෙම අවධාරණය කළා.

එබැවින් මත්පැන් හා මත්ද්‍රවය භාවිතයට තදින් ඇබ්බැහි වූ පිරිස ඊශ්‍රායලයේ රැකියා සඳහා එවීමට කටයුතු නොකරන ලෙසයි තානාපතිවරයා ඉල්ලා සිටින්නේ.