ඉන්ධන, ගෑස් නොමැතිව පෝලිම්වල ජනතාවට මියයාමට සිදු වූ ආකාරයේ අර්බුදයක් යළි ශ්‍රී ලංකාව තුළ ඇති වීමට ඉඩ නොතබන බවට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කර තිබෙනවා.
ඒ කොළොන්නාව ඛනිජ තෙල් ගබඩා සංකීර්ණය තුළ තවත් ඛනිජ තෙල් ටැංකි හයක් ඉදිකිරීමේ කටයුතු ආරම්භ කිරීමත් සමඟයි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ ජනාධිපතිවරයා,
“රාජ්‍ය ආයතන 33ක් වසා දමන්න ආණ්ඩුව තීරණය කළා. එම ආයතනවලින් ජනතාවට සේවයක් සිදු වන්නේ නැහැ. ඒ ආයතනයට අයත් ඉඩමක් බදු දීලා සේවකයින්ගේ වැටුප් ගෙවන සමහර ආයතන තිබෙනවා. එහෙම ආයතන මේ රටට අවශ්‍යද? රාජ්‍ය සේවය වෙනුවෙන් 2027 වන විට රුපියල් කෝටි 33,000ක් වැටුප් වැඩි කිරිමට වෙන් කරනවා. එහෙත් එයින් ප්‍රතිලාභයක් ජනතාවට ලැබෙනවාද? කියන එක සිතන්න අවශ්‍යයි. ආණ්ඩුවේ ආයතනවල තානායම් තිබෙනවා. ඒවා වාණිජ භාවිතයට ගෙන ආදායම් ලැබීමේ මාවතකට ගෙන ආ යුතුයි.
සමහර දේශපාලකයින්, හිටපු ජනාධිපතිවරුන් වසර 31ක් ඉඳලා තිබෙන්නේ රජයේ ගෙවල්වල. අප ඒවා වෙනස් කරනවා. රට ශිෂ්ට සම්පන්න කිරීමට අප කටයුතු කරනවා. පාලකයෝ දේවත්වයට ආරූඪ කළ යුගය අප අවසන් කළා. අප සියලු දේ දන්නේ නැහැ. දැනුම තිබෙන සියලුදෙනා කතා කරන්න. අප සියලුදෙනාට ඉඩ දී තිබෙනවා. විද්වතුන් කතා නොකර සිටීම අපරාධයක්. ඒ නිසා විද්වතුන් සහ ක්ෂේත්රවල ප්‍රවීණයන් කතා කළ යුතුයි. ඔවුන්ගේ අදහස් අරගෙන අප මේ රට හදන ගමන ඉදිරියට ගෙන යනවා.”
