නේපාලයේදී අත්අඩංගුවට ගත් ඉෂාරා සෙව්වන්දි වැඩිදුර විමර්ශන සඳහා ඊයේ(18) දිනයේත් මිද්දෙණිය ප්‍රදේශයට රැගෙන ගොස් තිබෙනවා.
ඇය අතුළු සැකකරුවන්ගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලදී අරුණ විදානගමගේ හෙවත් කජ්ජා ඝාතනය සම්බන්ධයෙන් ද තොරතුරු රැසක් අනාවරණ වී තිබෙන බව පොලිසිය පැවසුවා.
නේපාලයේදී අත්අඩංගුවට ගත් ඉෂාරා සෙව්වන්දි ඇතුළු සැකකරුවන්ගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමවලදී තවත් තොරතුරු රැසක් අනාවරණය වී තිබෙන බවයි පොලිසිය සඳහන් කළේ.
ඇය පොලිසිය හමුවේ පවසා ඇත්තේ ගණේමුල්ල සංජීව ඝාතනය වු දිනට පෙර දින එනම් පෙබරවාරි මස 18 වැනි දා කෙහෙල්බද්දර පද්මේගේ උපදෙස් මත තමන් සහ කමාන්ඩෝ සමිඳු නමැත්තා මිද්දෙණිය ප්‍රදේශයේ රැඳී සිටි බවයි.
එහෙත්, කඩිනමින් කොළඹ පැමිණෙන ලෙසට කෙහෙල්බද්දර පද්මේ කළ දැනුම්දීමකට අනුව ඔවුන් දෙදෙනා එදිනම කොළඹට පැමිණි බවත්, ඊට පසුදින එනම් පෙබරවාරි මස 19 වැනිදා අධිකරණ සංකීර්ණය තුළදී ගණේමුල්ල සංජීවට වෙඩි තබා ඝාතනය කළ බවත් ඇය පොලිසියට පවසා තිබෙනවා.
පොලිසිය සැකකරන්නේ පෙබරවාරි මස 18 වැනිදා අරුණ විදානගමගේ හෙවත් කජ්ජා ඝාතනය කිරීමට පද්මේ විසින් සෙව්වන්දි සහ වෙඩික්කරු මිද්දෙණියට යවන්නට ඇති බවටයි.
එහෙත් හදිසියේ වෙනස් වු සැලැස්මට අනුව සංජීව ඝාතනය සඳහා ඔවුන් කඩිනමින් කොළඹට ගෙන්වන්නට ඇති බවටත්, වෙනත් පාර්ශ්වයක් යොදවා 18 වැනිදා කජ්ජා ඝාතනය කරන්නට ඇති බවටත් පොලිසිය සැකකරනවා.
මේ අතර, සංජීව ඝාතනය කිරීමෙන් පසු පළායමින් සිටි ඉෂාරා සෙව්වන්දි ඒ වන විට භාවිත කළ ජංගම දුරකථනය ද විමර්ශන නිලධාරීන් විසින් ගම්පහ ප්‍රදේශයේ වලදමා තිබියදී සොයාගෙන තිබෙනවා.
පොලිසිය පැවසුවේ ත්‍රිරෝද රථයකින් පළා යමින් සිටි ඇය එම දුරකථනය ත්‍රිරෝද රථ රියදුරුට ලබාදී තිබු බවයි.
මෙම දුරකතනයෙන් තවත් තොරතුරු රැසක් අනාවරණය වී ඇති අතර, සැකකරුවන් කිහිපදෙනෙකු ඒ අනුව අත්අඩංගුවට ගැනීම සිදුවනවා.
එසේම, දැනට බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසයේ රඳවා සිටින නුගේගොඩ බබී නමැත්තාගෙන් පොලිසිය කළ ප්‍රශ්න කිරීම්වලදී ඔහු පවසා ඇත්තේ සළිඳු මල්ෂික ගුණරත්න හෙවත් කුඩු සළිඳු නමැත්තාගේ තර්ජන හේතුවෙන් ඉන්දියාව හරහා ඩුබායි බලා පළා ගිය බවයි.
කෙහෙල්බද්දර පද්මේ එහිදි හඳුනාගත් බවත්, ඉන් අනතුරුව පද්මේගේ මත්ද්‍රව්‍ය හා අපරාධ ජාලයට සම්බන්ධව කටයුතු කළ බවත් ඔහු පොලිසිය හමුවේ පවසා තිබෙනවා.
එමෙන්ම වැඩිදුරටත් ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී නුගේගොඩ ජම්බුගස්මුල්ල ප්‍රදේශයේ වළ දමා තිබු ජීව අත්බෝම්බයක් සහ පතොරම් 10 ක් සොයා ගත් බව පොලිසිය සඳහන් කළා.
පෑලියගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ රඳවා සිටින ගම්පහ බබා ශාන්ත නමැත්තා පවසා ඇත්තේ කෙහෙල්බද්දර පද්මේගේ පියාගේ මාර්ගයෙන් තමන් පද්මේ හඳුනාගත් බවයි.
ඔහුගේ මත්ද්‍රව්‍ය ජාවාරමට සහ සංවිධානාත්මක අපරාධවලට ද බබා නමැත්තා සම්බන්ධ බවට මේ වනවිට අනාවරණ වී ඇති අතර, ගම්පහ ඔස්මන් නැමැති ව්‍යාපාරිකයා ඝාතනය සඳහා කළ සැලැස්මටද ඔහු සම්බන්ධ බවටයි මේ වන විට අනාවරණ වී ඇත්තේ.
මේ අතර, පසුගිය දිනවලදී ඉෂාරා සෙව්වන්දී කොළඹ අපරාධ කොට්ඨාසයේ සිට අලුත්ගම, දොඩංගොඩ සහ මිද්දෙණිය ප්‍රදේශවලට රැගෙන ගියා.
එහිදි ඉෂාරා සෙව්වන්දි සඟවා තබා ගනිමින් ඇයට නවාතැන් දුන් පොලිස් කොස්තාපල්වරයෙක් සහ ඔහුගේ බිරිදගේ මව දොඩංගොඩ ප්‍රදේශයේ පුද්ගලයෙක් සහ මිද්දෙණිය ප්‍රදේශයේ සුපුන් නමැත්තාගේ බිරිඳ යන අත්අඩංගුවට ගත්තා.
ඔවුන් සිව් දෙනාම, ඉෂාරා සෙව්වන්දිත් සමඟ පෙරේදා රාත්‍රියේදීම කොළඹ අපරාධ කොට්ඨාසය වෙත රැගෙන විත් තිබෙනවා.
පොලිසිය පැවසුවේ කෙහෙල්බද්දර පද්මේගේ උපදෙස් මත මතුගම ශාන් විසින් පොලිස් කොස්තාපල්වරයාගේ සහ දොඩංගොඩ පදිංචි පුද්ගලයාගේ නිවසේ ඇයට නවාතැන් පහසුක්ම සලසා දී තිබු බවයි.
මිද්දෙණිය ප්‍රදේශයේ සුපුන්ගේ නිවසේ ඇයට නවාතැන් පහසුකම් සලසා දි තිබුණේ බැකෝ සමන්ගේ උපදෙස් මතයි.
ගණේමුල්ල සංජීව ඝාතනය සිදුවු දිනයේම ඉෂාරා සෙව්වන්දි අත්අඩංගුවට පත් පොලිස් කොස්තාපල්වරයාගේ නිවසට ගොස් දින එක හමාරක් එහි රැඳී සිට දොඩංගොඩට ගොස් තිබු නමුත් පොලිස් කොස්තාපල්වරයා පවසා ඇත්තේ ඇය නිවසින් පිටව යන තෙක් ඇය ඉෂාරා සෙව්වන්දි බවට තමන් දැන නොසිටි බවයි.
මේ අතර, ගණේමුල්ල සංජීව ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගතව සිටි ඉෂාරා සෙව්වන්දිගේ සහෝදරයා ඇප මත මුදා හරින ලෙස කොළඹ මහාධිකරණය නියෝග කර තිබෙනවා.
ගණේමුල්ල සංජීව ඝාතනය සඳහා ආධාර අනුබලදීමේ චෝදනාව යටතේ පසුගිය පෙබරවාරි මස 25 වැනිදා කොළඹ අපරාධ කොට්ඨාසය විසින් ඔහු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළා.
(source – hiru news)
