රියදුරු බලපත්රයක් නොමැතිව ධාවනය කළ කැබ් රථයකට නිතීය ක්රියාත්මක නොකර සිටීම සඳහා මත්පැන් බෝතලයක් අල්ලස් වශයෙන් ඉල්ලා එය ලබා ගැනීම සඳහා රුපියල් 3000/= ක මුදලක් අල්ලසක් ලෙස ලබා ගත් බව කියන පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකු ලබන දෙසැම්බර් 16 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ ප්රධාන මහේස්ත්රාත් අසංග එස්. බෝදරගම අද (1) නියෝග කළා.
කොටුව පොලිස් ස්ථානයේ විශේෂ රාජකාරි යටතේ හදිසි ඇමතුම් අංශයට සහ නාගරික රථවාහන කොට්ඨාසයට අනුයුක්තව රාජකාරි කරමින් සිටි පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකු මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවා.
වාරියපොල ප්රදේශයේ පුද්ගලයෙකු විසින් සිදු කරන ලද පැමිණිල්ලකට අදාලව කරුණු සලකා බැලීමෙන් අනතුරුව එම නියොගය ලබාදුන්නා.
සිද්ධියට අදාල සැකකරුවන් අල්ලස් කොමිසම විසින් අද (1) පස්වරුවේ අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.
පැමිණිලිකරු තම බොලෙරෝ වර්ගයේ කැබ් රථය රියදුරු බලපත්රය නොමැතිව සහ තවත් රථ වාහන වැරදි කිහිපයක් කරමින් ධාවනය කිරීමේ රථවාහන වැරදිවලට නීති මඟින් කටයුතු නොකර සිටීම වෙනුවෙන් මත්පැන් බෝතලයක් අල්ලස් වශයෙන් ඉල්ලා එය ලබා ගැනීම සඳහා අල්ලස වශයෙන් ලෙස රු.3,000/- (රුපියල් තුන්දහසක) මුදලක් ඉල්ලා ලබා ගැනීම හා එම මුදල ඉල්ලීම හා ලබා ගැනීමට ආධාර අනුබල ලබාදීම යන චෝදනා මත සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගත් බව අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දුන්නා.
සිද්ධියට අදාල සැකකරුවන් පිළිබඳ තවදුරටත් විමර්ශන කටයුතු සිදුකරන බව විමර්ශන නිලධාරීන් අධිකරණයට දන්වා සිටියා.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්රාත්වරයා සැකකරුවන් දෙදෙනා ලබන 16 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කළා.
