ආපදාවෙන් පූර්ණ හානියට පත් නිවාස සඳහා නව නිවසක් ගොඩනැඟීමට ඔවුන් සතුව ආසන්නතම ඉඩමක් නොමැති නම්, ඔවුන්ට ඉඩමක් මිලදී ගැනීම සඳහාද මිලියන 5ක් දක්වා දීමනාවක් ලබාදෙන නමුත් රජයේ ප්‍රමුඛතාවය වන්නේ එම ජනතාවට රජය සතු ඉඩමක් ලබාදී නිවාස ඉදි කර ගැනීම සඳහා දිමනාවක් ලබාදීම බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.
ඊයේ (06) පෙරවරුවේ මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවති මහනුවර දිස්ත්‍රීක් සම්බන්ධීකරණ කමිටු රැස්වීම අමතමින් ඔහු මේ බව අනාවරණය කළා.
ආපදාවට ලක්වූ ජනතාවට තම දීමනාවන් හිමිවන ආකාරය පිළිබඳව ජනාධිපතිවරයා විසින් එහිදී පියවර කිහිපයකින් පැහැදිලි කළා.
එහිදී ඔහු සඳහන් කළේ, දීමනාවක් ලබාදීමේදී එම දීමනාව ලබා නොගත යුතු පිරිසත් දීමනාවක් ලබාගැනීම සඳහා පෙළඹීමක් තිබෙන සංස්කෘතීයක් අප රට තුළ තිබෙන බවත්, ඒ හේතුවෙන් මෙම දීමනා හිමි විය යුතු පිරිස සම්බන්ධයෙන් තක්සේරුවක් ලබාගැනීම අත්‍යවශ්‍ය කරුණක් බවයි.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපතිවරයා කියා සිටියේ,
“අපි බලන්න ඕනේ පූර්ණ හානි වෙච්ච ඒවගෙන් එතනට යන්න උපරිම බලන්න. ඒ ඔක්කොටම රජයේ ඉඩම් හඳුනගන්න. රජයේ නම් හඳුනාගෙන ඒක අපිට කියන්නේ කියන්න LRC එකටද අයිති, NLDB එකටද අයිති කියලා ඕගොල්ලෝ අපිට හඳුන්වා දෙන්න, අපි ඒ ආයතනත් එක්ක කතා කරලා ඉඩම් ටික නිදහස් කරලා දෙන්නම්. එතකොට අපි එයාලට ඒ නිවස ඉදිකරගැනීම සඳහා අපි දැනට තීරණය කරලා තියෙනවා මිලියන 5ක ප්රතිපාදනයක් දෙන්න. සමහර එක්කෙනෙක් දෙන්නෙක් ඉන්න පුළුවන් එයාගේ ආසන්නමත් ඉඩමක් නැත්නම් එයාට අපි ඉඩමක් මිලදී ගන්නත් මිලියන 5 දක්වා දීමනාවක් දෙන්න ලෑස්ති කරලා තියෙන්නේ. හැබැයි අපේ ප්‍රමුඛම දේ වෙන්නේ රජයේ ඉඩමක මේගොල්ලන්ට මේ නිවස ඉදිකරගෙන ඉදිකර ගැනීම සඳහා දීමනාව දෙන එක.
දීමනාව දෙනකොටත් අපි සැලසුම් කරලා තියෙන්නේ අදියර 3කින්වත් දෙන්න ඕන කියලා. ඒ නිසා මිලියන 5 දීලා නිකං ඉන්න නෙමෙයි. ගේ තමයි අපේ ප්‍රමුඛතාවය. එතකොට හදා ගැනීම සඳහා අවශ්‍ය වන අදියරෙන් අදියරයට කරගන්න පුළුවන්. සමහර කෙනෙකුට ඕනේ නම් මිලියන 5ට වඩා ටිකක් අඩුවෙන් හදාගන්න පුළුවන්, තව කෙනෙකුට මිලියන 5ට වඩා වැඩියෙන් හදාගන්න පුලුවන්. හැබැයි නිවස හැදෙන එක අධීක්ෂණය කරන්න ඕන. නැත්නම් නිවස හැදෙන්නේ නැහැනේ. අපිට ඕනම ඒගොල්ලෝ හිටියට වඩා සුරක්ෂිතව පදිංචි කරන්න. එතකොට ඒ සඳහා අපි රජයේ ඉඩම් ටික හඳුනාගෙන කියන්න.
ඊළඟ අපට තියෙන්නේ අර්ධ හානි. එතකොට අර්ධ හානි ටික ඕගොල්ලෝ තක්සේරු කරන්න ඕන කම තියෙනවා. අපි ලක්ෂ 25 දක්වා අර්ධ හානියකට ගෙවන්න තීරණය කරලා තියෙනවා. චක්‍ර ලේඛනය ඇවිල්ල ඇති. ඕගොල්ලෝ ඒ අර්ධ හානි ටික හරියට බලන්න ඕගොල්ලො අතේ තියෙන්නේ. ජනතාවත් එක්ක කතා කරලා ඒගොල්ලන්ට ගැටලුවක් ඇති නොවෙන විදිහට. අපි දන්නවා අපේ රටේ යම් සංස්කෘතීයක් තියෙනවා දීමනාවක් ලබදෙනවා කියලා කියනකොට දීමනාවක් ලබා නොගත යුතු කෙනාගෙත් දීමනාවක් ලබාගැනීම සඳහා පෙළඹීමක් තියෙනවා. ඒ නිසා මේ දීමනා වැඩසටහන් අතරට පොඩි වියවුල් ස්වභාවයක් එනවා. ‘අපිටත් ඕනා, අපිටත් හිමි, මගේ හානිය මේක නෙවෙයි’ කියලා පොඩි ප්‍රශ්න එනවා. ඒක නිසා ඕගොල්ලෝ ජනතාවගේ පැත්තෙනුත් බලමින්, වියවුල්කාරක තත්වයක් ඇති නොවන විදියට පූර්ණ හානි වලට අපි එයාලගේ ගෙදර යන අයට අපි මුදල් ටික දෙමු එයාලගේ වත්තේ හදාගන්න අයට. අනිත් අයට රජයේ ඉඩම දෙමු. අර්ධ හානි ටික ඕගොල්ලෝ ගණනය කරලා කියන්න. උපරිම ලක්ෂ 25 දක්වා අර්ධ හානිවලට ගෙවන්න පුලුවන්.
ඊළඟට අවතැන් කඳවුරු වල ඉන්න අය. දැන් අවතැන් කඳවුරු ඊට පස්සේ ඉතුරු වෙන්නේ NBRO රිපෝර්ට් එක ආවට පස්සේ අවතැන් කඳවුරුවල අපිට ඉතුරු වෙන්නේ නිවාස අහිමි අය. නිවාස තියෙන අය උපරිම ලෙස නැවත එයාගේ නිවාසෙට යවන්න ඕනා. නිවාසයට ගියාට පස්සේ අපි ඒගොල්ලන්ට සතියක 10,500ක වියළි ආහාර දීමනාවක් දෙනවා ඒගොල්ලෝ නිවසට ගියාට පස්සේ.
ඊළඟට අවතැන් කඳවුරුවල ඉන්න අය. එයාලට තෝරගන්න පුළුවන් අවතැන් කඳවුරේම ඉන්නවද? එහෙම නැත්නම් කුලී නිවාසයකට යනවද? එතකොට කුලි නිවාසෙකට යනවා නම් එයාලට රුපියල් 25,000ක දීමනවක් දෙනවා මාස 6ක් දක්වා. මාස 6 ඇතුළත අපි අර නිවස හදාගන්න සමත් වෙන්න ඕනා. එයාට යම් තැනකට යන්න බැරිම වුනොත් අපි දීර්ඝ කරන්න බලන්නම්. අපේ උත්සාහය තියෙන්නේ මාස 6කට රු. 25000ක දීමනාවක් දෙන්න…”
