Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

උසස් පෙළ යළි ආරම්භ කරන දිනය ගැන පැහැදිලි කිරීමක්

12 months ago

රට තුළ ඇති වූ අවාසනාවන්ත ආපදා තත්ත්වය හේතුවෙන් කල් දැමූ 2025 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය නැවත ආරම්භ කිරීමේ දිනය පිළිබඳව විභාග කොමසාරිස් ජනරාල් ඒ.කේ.එස්. ඉන්දිකා කුමාරි මහත්මිය පැහැදිලි කිරීමක් කර තිබෙනවා.

රූපවාහිනි නාලිකාවක වැඩසටහනකට එක්වෙමින් ඇය සඳහන් කළේ, විභාගයට මුහුණපාන සියලුම දරුවන්ට සමාන පරිසරයක විභාගය ලිවීමේ වගකීම දෙපාර්තමේන්තුව සතු බැවින්, දරුවන්ගේ මානසික තත්ත්වය යථා තත්ත්වයට පත් වනතුරු උසස් පෙළ විභාග දිනය නිශ්චිතව නිම නොකරන බවයි.

නොවැම්බර් 10 සිට දෙසැම්බර් 05 දක්වා විභාගය අවසන් කිරීමට සැලසුම් කර තිබුණු නමුත්, ආපදා තත්ත්වය නිසා එය අඩාල වුණු බව විභාග කොමසාරිස්වරිය සඳහන් කළා.

එමෙන්ම විභාගයේ තවත් දින හතක් පැවැත්වීමට ඉතිරිව තිබෙන බවත් පැවසූ ඇය කියා සිටියේ, දරුවන්ට පළමු ප්‍රශ්න පත්‍රයට සහ දෙවන ප්‍රශ්න පත්‍රයටම මුහුණ දීමට සිදුවන විෂයයන් දහයක් ද, දෙවන ප්‍රශ්න පත්‍රය පමණක් ඉතිරිව ඇති විෂයයන් පහක් ද, පළමු ප්‍රශ්න පත්‍රය පමණක් ඉතිරිව ඇති එක් විෂයයක් ද පවතින බවයි.

විභාගය නැවත ආරම්භ කිරීම සම්බන්ධයෙන් පැහැදිලි කළ කොමසාරිස් ජනරාල්වරිය, ඔවුන්ගේ අපේක්ෂාව ජනවාරි මාසයේ ආරම්භයේදී විභාගය ඇරඹීමට බව සඳහන් කළා.