නවගමුව, කොරතොට මැණිකාගාර පාර ප්රදේශයේ දී ඊයේ (1) රාත්රී 10ට පමණ වෙඩිතැබීමක් සිදුව තිබේ.
අදාළ වෙඩි ප්රහාරය එල්ල වී ඇත්තේ, කුලී පදනම මත ලබාගත් නිවසක සිටි පිරිමි පුද්ගලයින් තිදෙනෙකුට බව පොලීසිය පැවසීය.
යතුරුපැදියකින් හා ත්රීරෝද රථයකින් පැමිණි පුද්ගලයින් පිරිසක් විසින් මෙම වෙඩිතැබීම සිදුකර පලාගොස් ඇති බව මූලික විමර්ශනයේදී අනාවරණය වී ඇත.
නිවසේ නාන කාමරය අසලදී වෙඩි ප්රහාරට ලක්ව සිටි එක් අයෙකු එම ස්ථානයේදීම මියගොස් තිබේ. එලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 20ක් වූ බොරැල්ල ප්රදේශයේ පදිංචිකරුවෙක්ය.
එමෙන්ම වෙඩි වැදීමෙන් රෝහල් ගතකර ඇත්තේ, අම්බලන්තොට වාඩියගොඩ සහ දෙමටගොඩ ගැවලමුල්ල ප්රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙක්ය.
ඔවුන් අතුරුගිරිය ඔරුවල ප්රාදේශීය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්රතිකාර සඳහා මේ වනවිට හෝමගම මූලික රෝහලට ඇතුළත් කර ඇත.
ඉන් එක් අයෙකුගේ ශරීරයේ උණ්ඩ 4ක් සහ අනෙක් පුද්ගලයාගේ ශරීරයේ එක් උණ්ඩයක් ඇති බව සඳහන්.
එමෙන්ම සිද්ධිය වූ ස්ථානයේ තිබී මිලිමීටර් 9 නවය වර්ගයේ උණ්ඩ කොපු 15ක් හමු වූ බවද පොලිසිය පවසයි.
ඊයේ (01) රාත්රී 9.30 ත් 10ත් අතර කාලයේදී මෙම වෙඩිතැබීම සිදුව ඇතැයි පොලීසිය සැකපළ කරයි.
වෙඩි වැදුණු තරුණයින් තිදෙනා අදාළ කුලී නිවසට මීට මාස එකහාමාරකට පමණ පෙර පදිංචියට පැමිණ තිබේ.
ඔවුන් තිදෙනා නව වසර උදාවීම නිමිත්තෙන් මත්පැන් සාදයක් පවත්වන අතරතුරදී මෙම වෙඩි ප්රහාරයට ලක්ව තිබේ.
වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වි නොමැති අතර, මෙය යම් පාතාල කණ්ඩායම් දෙකක් අතර පවතින ගැටුමක ප්රතිඵලයක් බවට පොලීසිය සැකකරයි.
සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා නවගමුව පොලීසිය සහ නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
