ප්රධාන පෙළේ සංවිධානාත්මක අපරාධකරුවකු වන ‘ගනේමුල්ල සංජීව’ ඝාතනය කිරීමට කුමන්ත්රණය කිරීම සහ ඒ සඳහා අනුබල දීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින ඉෂාරා සෙව්වන්දි නමැති සැකකාරිය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය කළ ඉල්ලීමක් අධිකරණය විසින් ප්රතික්ෂේප කර තිබේ.
කොළඹ අපරාධ කොට්ඨාසය අද (07) කොළඹ ප්රධාන මහේස්ත්රාත් අසංග එස්. බෝදරගම මහතාගෙන් ඉල්ලා සිටියේ, දැනට රැඳවුම් භාරයේ පසුවන මෙම සැකකාරිය මුහුණු පරීක්ෂාවක් (Face Mapping Test) සඳහා රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කිරීමට නියෝගයක් ලබා දෙන ලෙසයි.
මෙම ඉල්ලීම සලකා බැලූ මහේස්ත්රාත්වරයා පෙන්වා දුන්නේ රැඳවුම් භාරයේ සිටින සැකකරුවෙකු අධිකරණයට ඉදිරිපත් නොකරන අවස්ථාවක, එවැනි පුද්ගලයන් සම්බන්ධයෙන් නියෝග නිකුත් කිරීමට අධිකරණයට නෛතික බලයක් නොමැති බවයි. සැකකාරිය ත්රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා තබාගෙන ප්රශ්න කරනු ලබන බැවින්, එවැනි නියෝගයක් ලබා දිය නොහැකි බව පවසමින් මහේස්ත්රාත්වරයා එම ඉල්ලීම ප්රතික්ෂේප කළේය.
ගනේමුල්ල සංජීව ඝාතන සිද්ධියට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් මේ වන විට රැඳවුම් නියෝග මත පසුවන නන්ද කුමාර් තක්ෂි නමැති සැකකාරිය සහ තවත් සැකකරුවෙකු අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී මහේස්ත්රාත්වරයා මෙම කරුණු ප්රකාශ කර සිටියේය.
