බත්තරමුල්ල දියත උයන සහ ඇතුල්කෝට්ටේ ප්‍රධාන මාර්ගයේදී යතුරුපැදියකින් ගමන් කරමින් මෝටර් රථ හතරකට තියුණු ආයුධයකින් පහරදුන් සිද්ධියට අදාළ සැකකරු ලබන 22 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නුවන් කෞශල්‍ය මහතා අද (13) නියෝග කළේය.
වැලිකඩ පොලීසිය විසින් අධිකරණයට ඉදිරිපත් කළ කරුණුවලට අනුව, සැකකරු රාගම ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි තරුණයෙකි. ඔහු සම්බන්ධයෙන් සිදුකළ වෛද්‍ය පරීක්ෂණවලදී අනාවරණය වී ඇති තොරතුරු මෙසේය:
සැකකරු අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වෙත ඉදිරිපත් කළ අවස්ථාවේදීත් ඔහුගේ ශරීරයේ “අයිස්” සහ “හෙරොයින්” මත්ද්‍රව්‍ය තැන්පත්ව තිබූ බව වෛද්‍ය වාර්තා තහවුරු කර ඇත.
සැකකරු මීට පෙරද මත්ද්‍රව්‍ය භාවිතය හේතුවෙන් අත්අඩංගුවට පත්ව කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ පුනරුත්ථාපනය ලබා පැමිණි අයෙකු බව පොලීසිය අධිකරණයට දන්වා සිටියේය.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා, සැකකරු ලබන 22 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළ අතර, එදිනට සිද්ධියට අදාළ ප්‍රගති වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස වැලිකඩ පොලීසියට නියෝග කළේය.
පසුගිය දිනක බත්තරමුල්ල දියත උයන ආසන්න ප්‍රධාන මාර්ගයේදී මෙම සැකකරු යතුරුපැදියක යමින් අහඹු ලෙස තෝරාගත් මෝටර් රථ කිහිපයකට තියුණු ආයුධයකින් පහරදී හානි කර පලාගොස් තිබුණි. ඒ සම්බන්ධයෙන් පොලීසිය සිදුකළ පුළුල් විමර්ශනවලින් අනතුරුව ඔහුව අත්අඩංගුවට ගැනීමට හැකි විය.
